මියගිය අයෙකු වෙනුවෙන් තම තමන්ට හැකි අයුරින් පින්පෙත් කිරීමේදී ඒ පින පින් ගත හැකි මියගිය අයටත්, ජීවත්ව සිටින ඊට සහභාගි වෙන, දායකත්වය දෙන උදවියටත් හිමි වෙන බව බෞද්ධ දර්ශනයේ මතයි.
එලෙස මියගිය පියෙකු වෙනුවෙන් පින්කමක් කරන්නට සෙසු පිරිකර රැගෙන පන්සලකට ගිය විට විහාරාධිපති හිමියෝ සෙසු පිරිකර ප්‍රතික්ෂේප කර අටපිරිකර ඉල්ලා සිටීම හමුවේ පින්කමට සහභාගි වූ පිරිස දැඩි අපහසුතාවයකට පත් වූ පුවතක් යාපහුව රාජධානියට අයත් ප්‍රසිද්ධ නගර සීමාවක් අවට පිහිටි ගම් පියසක පන්සලකින් අසන්නට ලැබේ.
මිය ගොස් ඇත්තේ තම පියාය. කළ යුතු ආගමික වතාවත්වලට අනුව අවසන් කටයුතු සිදු කර හයවැනි දින රාත්‍රියේදී නිවසට හිමිනමක වැඩම කර ධර්ම දේශනාවක් පවත්වා
පසුදින හත් දවසේ දානය හීල් දානයෙන් නිම කිරීම බෞද්ධයන්ගේ මතයයි.
ඒ අනුව යමින් පියාගේ පින්කම සිදු කරන්න පන්සලේ හතර නමකට දානය පිළිගන්වා ඇත. උදේම විවාහක බිරිය, දරුවන්, පවුලේ ඥාතින් හා අසල්වැසියන්ද කැටුව පන්සල කරා ගොස් දානය පිළිගන්වා ඇත. ඉන් අනතුරුව මිය ගිය පියාට පින් පෙත් පැතීම කර ඇති අතර, රැගෙන ගිය අටපිරිකර තුනෙන් එකක් කරඬුව උදෙසා පූජා කර ඉතිරි අටපිරිකර දෙක විහාරාධිපති හා තවත් හිමිනමකටත්, එහි සිටි තවත් දෙනමකට සෙසු පිරිකරත් ඔවුහු පිරිනමා ඇත. පින්කම කරන ක්‍රමවේදය වැරදියි. අටපිරිකර තුනක් නෙමෙයි පහක් අවශ්‍යයි. ගෙනැත් ඇත්තේ තුනයි. කරඬුවට හා දෙදෙනෙකුට අටපිරිකර දීලා ඉතිරි දෙනමට සෙසු පිරිකර දෙන්න බැහැ. ඒ දෙනමටත් අටපිරිකරම දෙන්න. විහාරාධිපති හිමි දොස් නඟා ඇත.
පින්කමේ වැඩ නැවැත් වූ රැස්ව සිටි පිරිස අන්ද මන්ද විය. එහි සිටි අයෙක් වහා එතැනින් පිටතට ගියේය. ඒ තවත් පන්සලකටය. ඒ පන්සලේ හාමුදුරුවන්ට තමන්ට අත් වූ ඉරණම පවසා අටපිරිකර දෙකක් මිල දී ගෙන වහ වහා ස්වකීය පන්සල කරා පැමිණ පවුලේ අයගේ අවශ්‍යතාවයට අනුව නොව විහාරාධිපති හිමිගේ සිතැඟි පරිදි පමා වූ පින්කමේ ඉතිරි වැඩ ටික අටපිරිකර සහිතව නිමා කර ඇත.