මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15ක් දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පැවැසීය.
මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් දළ දේශීය නිෂ්පාදිතයට දෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ‘DIGIECON Sri Lanka 2030’ වැඩසටහනට සමාගමීව අමෙරිකානු ඩොලර් බිලියන 15ක ඉලක්කයට යෑමට හැකියාව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ‘ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව – 2023’ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
‘තිරසර ඩිජිටල් සමාජයක් කරා’ තේමාවෙන් ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව 41 වැනි වරටත් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ඔක්තෝබර් මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර, මේ සමුළුව ශ්‍රී ලංකා පරිගණක සංගමයෙන් සංවිධාන කරයි.
මේ අවස්ථාවට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති, ආචාර්ය අජන්තා අතුකෝරල, ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ සම සභාපති, ආචාර්ය නිරෝෂා වෙදසිංහ, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ලේකම් හේෂාන් කරුණාරත්න, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම සහ ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජික, ආචාර්ය අමල් ඉලේසිංහ මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.