Sunday, April 20, 2025
Home » ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් වැදගත් වෙනවා
කලාපීය ආර්ථික සහ සමාජීය සබඳතා දියුණුවට

ජාත්‍යන්තර මට්ටමේ යටිතල පහසුකම් වැදගත් වෙනවා

චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2023 ගෝලීය තිරසර ප්‍රවාහන සංසදයේ දෙවැනි දින සැසියේ දී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගත් මාර්ග යටිතල පහසුකම් දියුණු කිරීම තුළින් කලාපීය ආර්ථික සහ සමාජීය සබඳතා දියුණු කළ හැකි බව ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ දිනවල චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2023 ගෝලීය තිරසර ප්‍රවාහන සංසදයේ දෙවැනි දින සැසියේ දී ‘උසස් තත්ත්වයේ ජාත්‍යන්තර යටිතල පහසුකම් සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය ආර්ථික සම්බන්ධතා සංවර්ධනය ප්‍රවර්ධනය’ යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමුළුවට එක් වූ ඇමැතිවරයා තවදුරටත් මෙසේ ද පැවසීය.

උසස් තත්ත්වයේ ජාත්‍යන්තර යටිතල පහසුකම් සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය ආර්ථික සම්බන්ධතා සංවර්ධනය ප්‍රවර්ධනය යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයකට අවධානය යොමු කිරීමට මා කැමතියි.

එනම්, ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම තුළින් කලාපීය සංවර්ධනය සඳහා සම්බන්ධීකරණය, සහයෝගිතාවය සහ සහභාගිත්වය පළමුවැන්නයි. UNDP, UNEP, UNESCAP වැනි ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් ආයතන සමඟ මනා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම තවත් කරුණකි. ෆොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනය, බලශක්ති මත පදනම් වූ ප්‍රවාහන ක්‍රමවේදයන් වෙත මාරුවීමද එකකි. ජාත්‍යන්තර විශේෂඥ සහ විශේෂඥ සංවිධානවල සහයෝගයෙන් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සැකසීම, ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ සියලුම සේවාවන් ඩිජිටල්කරණය සහ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රවාහන අංශය නවීකරණය සඳහා සක්‍රිය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මූල්‍ය සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීම එම කරුණු වෙයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් බොරතෙල්, ගල් අඟුරු නිස්සාරණය කිරීම සහ කැණීම, ජල විදුලි උත්පාදනයේ පවතින සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බලවත් ගැටලුවක් බවට පත්වෙමින් පවතින බලශක්ති අර්බුදය පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට මා කැමතියි.

මූල්‍යමය බාධාවන් හේතුවෙන් ඇතැම් රටවලට දැරිය නොහැකි තරමට තිරසර හා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක්‌ සැපයීම අපහසු වන පරිදි ඛනිජ තෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනවල මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් තුළින් රටක ඵලදායිතාව සහ ආර්ථිකය ඉහළ නංවන නමුත් ඛනිජ තෙල් ඇතුළු බලශක්ති නිෂ්පාදන මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍යමය ශක්තියක් නොමැති නම් සමස්ත ආර්ථිකයම විකෘති කරමින් සැපයුම් ජාලය ඇතුළු සමස්ත පද්ධතියම බිඳවැටෙණු ඇති.

බලශක්ති අර්බුදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහිතව පොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනයේ සිට බලශක්ති පාදක ප්‍රවාහන පද්ධතියට මාරුවීම මෙම අවස්ථාවේදී වඩාත් කාලෝචිත වේ. ඒ උදෙසා පුනර්ජනනීය බලශක්ති භාවිතය අත්‍යවශ්‍ය වේ. සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, තරංග ශක්තිය සහ ප්‍රවාහන අංශය සඳහා අවශ්‍යතාවය අනුව විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම ද ඉතා වැදගත් වේ. “හරිත ආර්ථිකය” සහ “හරිත ප්‍රවාහනය” සංකල්ප ක්‍රියාවට නැංවීමේදී නව තාක්‍ෂණය, පර්යේෂණ සහ සංවර්ධනය, දියුණු යටිතල පහසුකම්, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය, අධ්‍යාපනය සහ පුහුණුව වැනි අංශවලට ප්‍රමුඛ ස්ථානයක්‌ හිමි වේ. සාම්ප්‍රදායික ප්‍රවාහන පද්ධති නවීන ප්‍රවාහන පද්ධති බවට පරිවර්තනය කිරීමේදී, මාර්ග යටිතල පහසුකම් සහ වාහන ඇණිය යන අංශ දෙකටම ඉහළ ආයෝජන අවශ්‍ය වේ. මෙය අකාර්යක්ෂම ප්‍රවාහන ක්‍රමවල සිට කාර්යක්ෂම ප්‍රවාහන ක්‍රම වෙත මාරුවීමේදී අප මුහුණ දෙන තවත් තීරණාත්මක ගැටලුවකි. මූලිකව වරාය සහ ගුවන්තොටුපොළවල සිට වාණිජ නගර දක්වා සම්බන්ධතා වැඩිදියුණු කිරීම තිරසර නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වා ගැනීම උදෙසා අත්‍යවශ්‍ය වේ. දුම්රිය මාර්ග ඇතුළු මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් ඕනෑම රටක දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම සේවා අංශයේ රැකියා අවස්ථා ඉහළ නැංවීමට ඉහළ ආර්ථික බලපෑමක් ඇති කරන නමුත් ඒ සඳහා මූල්‍ය සම්පාදනය කිරීම තීරණාත්මක සාධකයකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ බස්නාහිර පළාතේ සිදු කිරීමට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ( LRT) සහ අධිවේගී මාර්ග ව්‍යාපෘති, COVID 19 වසංගතය සමඟ ඇති වූ මූල්‍ය අර්බුදයට විසඳුම් සකසා ගන්නා තුරු තාවකාලිකව නතර කිරීමට සිදුව තිබේ.

එබැවින්, රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ( PPP) BOO සහ BOT යන ආයෝජන ක්‍රම යටතේ එවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් රටවලින් සහ පරිත්‍යාගශීලි නියෝජිතායතනවල මූල්‍ය සහාය තුළින් එම අරමුණු කරා ළඟා වීම අවශ්‍ය වේ. මේ සියලු කරුණු සමඟ සංවර්ධන අවධියේදී නවීන යටිතල පහසුකම් නිර්මාණය කිරීම සඳහා හරිත ආර්ථික සංක්‍රාන්තිය සඳහා වන සමාජ හා පාරිසරික තිරසර අවශ්‍යතාවල වැදගත්කම ගැන විශේෂයෙන් සිහිපත් කිරීමට ද මා කැමතියි.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට අනෙකුත් සංවර්ධිත රටවලින් සහ කලාපීය ආර්ථික සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම යටතේ පරිත්‍යාගශීලි නියෝජිතායතනවල සහයෝගය අවශ්‍යම අවස්ථාවක ඒ වෙනුවෙන් එක් වන ලෙස මා ඉල්ලා සිටිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT