මම පොඩි කාලේ තාත්තා කිහිප වරක් දැක තිබෙනවා. අවුරුදු 30කට වැඩි කාලයක ඉඳලා තාත්තා දැක නෑ. තාත්තා ගැන කිසිදු සොයා බැලීමක් කළෙත් නෑ,
– බාල දියණිය කියයි
රිය අනතුරකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව සිටි සිය පියාගේ දේහය එකම දියණිය ප්‍රතික්ෂේප කර බාප්පාගේ දියණියට දේහය භාරදී ගිය පුවතක් ඊයේ (26) කෑගල්ල මහ රෝහලෙන් වාර්තා විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි තිදරු පියෙකි. මොහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත්, පසුව කඩුගන්නාව ප්‍රදේශයේ තරුණියක් විවාහ කරගෙන කුරුණෑගල නිවෙසට අලි ඇතුන් සමඟ පෙරහරකින් මනාලිය කැන්දාගෙන ගොස් තිබෙන බවත්, මේ දෙදෙනාට ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් සිටි බවත්, පසුව මොවුන් දෙදෙනා අතර ඇති වුවා යැයි කියන ආරවුලක් හෙතුවෙන් සැමියා අතහැර බිරිය දරු තිදෙනා රැගෙන කඩුගන්නාවේ ඇයගේ මහ ගෙදරට ගිය බවත් හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මව මහගෙදරට යන අවස්ථාවේදී බාල දියණියගේ වයස අවුරුද්දක් පමණ වන බවත් අනාවරණය විය.
පසුව එම කාන්තාව දරු තිදෙනා රැක බලාගෙන ඇති අතර, ඇය දැනට වැඩිමහල් සහෝදරිය සමඟ එංගලන්තයේ පදිංචිව සිටින බවත්, එකම වැඩිමහල් සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටින බවත්, 43 හැවිරිදි බාල දියණිය හදිසි මරණ පරීක්ෂණයේදී පැවැසුවාය. ඇය වැඩිදුරටත් මෙලෙස ද පැවැසුවාය.
“මම පොඩි කාලේ තාත්තා කිහිප වරක් දැක තිබෙනවා. අවුරුදු 30කට වැඩි කාලයක ඉඳලා තාත්තා දැක නෑ. තාත්තා ගැන කිසිදු සොයා බැලීමක් කළෙත් නෑ, තාත්තා එයාගේ මල්ලිගේ කුරුණෑගල නිවෙසට කිහිප වරක් පැමිණ තිබෙනවා. බාප්පාගේ දුව ඒ බව මට කිවුවා. බාප්පාගේ දුව පෙරේදා (25) දුරකතනයෙන් මට කතා කරලා තාත්තා කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී රිය අනතුරකින් මිය ගිය ගිහින් කියලා කිවුවා. පස්සෙ මම එයාලා එක්ක කෑගල්ල මහ රෝහලට ආවා. තාත්තගෙ දේහය බලන්න අවශ්‍යතාවක් නෑ. දේහය භාර ගැනීමට කැමැත්තක් නෑ. බාප්පාගේ දුවටම දේහය භාර දෙන ලෙස කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කිවුවා.”
එහිදී හදිසි මරණ පරීක්ෂිකාව ජීවිතක්ෂයට පත්ව සිටි තිදරු පියාගේ දියණියට මෙලෙස කියා සිටියාය.
“මව්පියන් අතර අමනාපකමක් තිබුණත් තාත්තා සිටින ස්ථාන, කරන්නේ මොනවා ද යන්න පිළිබඳ සොයා බැලීම දරුවෙක් වශයෙන් සිදු කරන්න තිබු වගකීමක්. තමා අද යම් තැනක සිටිනවා නම් ඒ පියා නිසයි. තමන්ට තමාගෙ දරුවෙක් එවැනි දෙයක් සිදු කර සිටියා නම් කොපමණ අසරණකමක් දැනෙයිද යන්න පිළිබඳ දෙවතාවක් සිතන්න.”
පසුව මිය ගිය පුද්ගලයාගේ බාල සහෝදරයාගේ 46 හැවිරිදි දියණිය දේහය භාරගෙන කෑගල්ලේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කරන ලදි. දේහය පිළිබඳව අවසන් කටයුතු අද (27) කුරුණෑගල දී සිදු කිරීමට නියමිතය.
කෑගල්ල මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම මහතාගේ උපදෙස් පරිදි, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ පොලිස් සැරයන් බුලත්සිංහල (57308) විමර්ශන කටයුතු සිදු කෙරිණි.
මිය ගිය පුද්ගලයා ඉකුත් 24 වැනිදා රාත්‍රි 9.20ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, ගලිගමුව, කොබ්බෑවල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබු මෝටර් රථයක ගැටී ඇති බවත්, පසුව මෝටර් රථය පළා ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව කෑගල්ල මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනකු අනතුර සිදුව තිබු ස්ථානයට ගොස් මාර්ගයේ වැටී සිටි පුද්ගලයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබිණි. ඒ වන විටත් තුවාලකරු ජීවිතක්ෂයට පත්ව තිබුණි. මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (26) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එන්. පී. කුලතුංග මහත්මිය විසින් සිදු කළාය. රිය අනතුරක් හේතුවෙන් පපුවට සහදෙපාවලට ඇති වු බහුවිධ තුවාල හෙතුවෙන් සිදු වු මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.