ආබාධිත ප්‍රජාව සවිබල ගැන්වීමෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය නඟාසිටුවීමට ඔවුන්ගේ දායකත්වය ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත්, ඊට සමගාමීව රටේ සමස්ත ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ නව පනත් කෙටුම්පතක් මේ වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැති අනුප පස්කුවල් මහතා සඳහන් කළේය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවසීය.
“මේ රටේ ජනගහනයෙන් 4%ක් පමණ වන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මූල්‍ය ආධාර වගේම අනෙකුත් පහසුකම් දීමට ද රජය පියවර ගෙන තිබෙනවා. ඔවුන් නව තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට ද පියවර ගත යුතුයි. එමඟින් රටේ නිෂ්පාදන ආර්ථිකයට ඔවුන් දායක කර ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ වගේම ආබාධිත ප්‍රජාව ශක්තිමත් කිරීමට රජයට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ නව කෙටුම්පත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවෙදී සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඔවුන් සැමදා රජයෙන් යැපෙන පිරිසක් බවට පත් නොවිය යුතුයි. එම නිසා ඔවුන් සමාජමය වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය පියවර රජයෙන් ගනු ලබනවා.
ආබාධ සහිත සියලු ප්‍රජාවට අධ්‍යාපනය මෙන්ම තාක්ෂණික දැනුම දීම අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ නව පාසල් පහසුකම් දීමටත් කටයුතු කළ යුතුයි. ආබාධිත කියා සමාජයෙන් වෙන් නොකර අනිකුත් ළමයින් සමඟ සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.
සංඥා භාෂා පනත ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා භාෂාවක් බව කිව යුතුයි. එම නිසා සංඥා භාෂාව ඕනෑම කෙනකුට හඳුනාගත හැකි ආකාරයට මෙන්ම අදහස් හුවමාරු කර ගැනීමේ සම්බන්ධතා ඇති කිරීමට මහ ලේකම් කාර්යාලය හරහා සංඥා භාෂා පනත් කෙටුම්පත ද මේ වසර අවසන් වීමට පෙර සංශෝධනය කිරීමට කටයුතු කරනවා.”