ලබන වසරේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ එහි සිටින නිවාස අහිමිවූවන් හා සරණාගතයන් ඉවත් කිරීමට ප්‍රංශ රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරිස් නුවර වීදිවල කඩසාප්පු අසළ සහ පාලම් යට ලැගුම් ගෙන සිටි සිය ගණනක සරණාගතයන් හා නිවාස අහිමිවූවන් මේ දිනවල පැරිස් නුවරට ඊසාන දෙසින් පිහිටි ස්ටැලින්ග්‍රාඩ් උමං දුම්රිය මාර්ගය ඔස්සේ ප්‍රංශයේ වෙනත් පළාත්වලට පිටත්කර යැවීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.
සෑම සතියකදීම එවැනි පුද්ගලයන් 100-150ක් අතර පිරිසක් ප්‍රංශයේ වෙනත් පළාත් 10කට පිටත් කර හැරීමට කටයුතු යොදා ඇතැයි ද, ඊට විරෝධය පෑම හේතුවෙන් සරණාගතයන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.