2024 අය-වැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
අය – වැය දෙවැනි වර කියවීම නොවැම්බර් මස 13 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිත බව ඇමැතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කීවේය.
අය – වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන අතර 21 වැනිදා පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව හෙතෙම කීවේය.
නොවැම්බර් 22 වැනිදා ආරම්භ වන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 වැනි දක්වා පැවැත්වෙන බව පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා තුන් වැනි වර ඡන්ද විමසීම එදින සිදු කරන බව සඳහන් කළේය.
අය – වැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඊට කථානායක අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට නීතියක් බවට පත් කිරීමට නියමිත අතර දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදු වන්නේ නව අය – වැය මඟිනි.
මෙවර අය – වැය මඟින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා මෙම වසරේදී රුපියල් බිලියන 65ක් පමණ වූ සුබසාධන විදයම රුපියල් බිලියන 185ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද කියා සිටියේය.
ලබන වසර (2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද පළ වී තිබේ. අදාළ විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීමට ඉකුත් ජුලි මාසයේදී පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් 2024 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත සකස් කර තිබේ. ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය හිමි වී ඇති අතර එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මේ අනුව කැබිනට් අනුමැතිය පළ වී තිබේ.