Home » ක්‍රීඩාංගණ සේවකයන්ට ලැබුණු මුදල් බෙදීම මේ සතියේ අවසන්
වතුර පිරුණ කාපට් එකක බර කිලෝග්‍රෑම් 150ක්

ක්‍රීඩාංගණ සේවකයන්ට ලැබුණු මුදල් බෙදීම මේ සතියේ අවසන්

-සේවා ඇගැයීම අනුව එක් අයෙකුට රු. ලක්ෂයේ සිට 40000ක් දක්වා

by sachintha
September 25, 2023 1:55 am 0 comment

වැස්සට තෙමුණු ප්‍රේමදාස පිටියේ තණතිල්ල දේශීයව තැනූ විදුලි පංකා යොදා යථා තත්ත්වයට ගෙන ඒම නිරීක්ෂණය කරන ගොඩ්ෆ්‍රී දාබරේරා මහතා.

වැස්සට තෙමී, අව්වට වේලී ක්‍රිකට් තරග පවත්වා ගැනීම වෙනුවෙන් බලවත් පරිශ්‍රමයක් දැරූ ආර්. ප්‍රේමදාස හා පල්ලේකැලේ ක්‍රීඩාංගණ සේවකයින් 265ක් අතරේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් 50000ක මුදල (රුපියල් එක්කෝටි හැට එක්ලක්ෂ පනස් දහසක්) බෙදාදීමට කටයුතු කරයි. ක්‍රීඩාංගණයේ ස්ථීර සේවකයෙකුට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වෙන්වන අතර, අනෙකුත් සේවකයින්ගේ සේවා කාලය අනුව රුපියල් 80000 සිට 40000 දක්වා පිරිනැමෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රීඩා පිටි භාර සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ගොඩ්ෆ්‍රී දාබරේරා මහතා ‘දිනමිණ‘ ට පැවැසීය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය ඇමෙරිකානු ඩොලර් 50000ක මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී ඇති හෙයින් මුදල් බෙදී යන ආකාරය පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමට අද දින ඉදිරිපත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

“මුදල් බෙදෙන සැලැස්ම හදන එක ලෙහෙසි නෑ. ප්‍රේමදාස පිටියේ තණතිල්ල හදන්නත් මෙච්චර අමාරු වුණේ නෑ. ජ්‍යෙෂ්ඨත්වය හා ක්‍රියාකාරීත්වය යන දෙකම සලකා බලා වාර්තාව සකස් කොට ක්‍රිකට් විධායක සභාවට දුන්නා. ඒක අනුමත වූ පසු අපේ සේවකයින්ට මේ සතිය ඇතුලත සල්ලි බෙදීම නිමා කරනවා“

“ඇත්තටම මේක ලොකු දිරි ගැන්වීමක්. එක් ක්‍රීඩාංගණයක අඩි 100යි 100 කාපට් 26ක් තියෙනවා. වතුර නැති වේලාවට කාපට් එකක් කිලෝග්‍රෑම් 46ක් විතර බරයි. වැස්සට වතුර පිරිලා අදින කොට කාපට් එකක බර කිලෝග්‍රෑම් 150ක විතර වෙනවා. මේ බර වැඩ කරන සේවකයින් ඇගැයීම පිළිබඳ සතුට ප්‍රකාශ කරනවා“ ගොඩ්ෆ්‍රී දාබරේරා මහතා පවැසීය.

අවසන් තරගයේ වීරයා වූ මොහොමඩ් සිරාජ් ලබාදෙන බවට පැවැසූ මුදල් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදී ඇති බව ඊයේ දිනයේ දැන ගැනීමට ලැබුණු බවත්, එම මුදල ද බෙදාදීමට කටයුතු කරන බව ඒ මහතා පැවැසීය.

 

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT