Home » ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට කාන්තා ක්‍රිකට් පිල අද රන් පදක්කම් සටනේ

ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට කාන්තා ක්‍රිකට් පිල අද රන් පදක්කම් සටනේ

by sachintha
September 25, 2023 1:51 am 0 comment

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉතිහාසයේ පළමු වරට ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම වෙනුවෙන් සටනට පිවිසෙයි. මේ තරගය අද (25) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.30ට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන්නේ හැන්ජෝහි ශෙයිජන්ග් විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේ දීය.

ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා පිල පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමින් රන් පදක්කම් සටනට පිවිසි අතර, ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ඉසව්වට එක් වූ ඉන්දියාව පළමු අවසන් පූර්ව තරගයේදී බංග්ලාදේශය කඩුලු 8කින් පරාජය කරමින් මේ තරගයට එක් විය. ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ පාකිස්තාන කාන්තා කණ්ඩායම් අවසන් තරගාවලි ද්විත්වයේදීම ක්‍රිකට් රන් පදක්කම දිනාගත් කණ්ඩායම වීම කැපී පෙනේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් වෙනුවෙන් තරග වදින පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උලෙළට එක් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, පළමු වරට එක් වූ 2014 වසරේ ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම හිමි විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තාන පිලට ලබාදුන් අතර, ඔවුන්ට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 75ක් පමණි. එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඕවර 16.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී තිබියදීය.

හර්ෂිතා මාධවී ලකුණු 23ක් රැස් කළ අතර, නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 18ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 15ක් සහ චමරි අතපත්තු ලකුණු 14ක් ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී ඕවර 4කදී ලකුණු 21කට කඩුලු 3ක් දවාගත් අතර, කවීෂා දිල්හාරි කඩුලු 2ක් දවා ගත්තාය.

මේ අතර ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ හර්ෂිතා මාධවී පිතිකරණයේ නිරත වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ අතර, තරගයෙන් අනතුරුව ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි. ඒ හේතුවෙන් අද තරගය සඳහා ඇයගේ සහභාගිත්වය අවිනිශ්චිත වී තිබේ.

ඊයේ තරගයෙන් අනතුරුව අද තරගය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායිකා චමරි අතපත්තු පැවසුවේ ඉන්දියාව ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියද තමාට එය අංකයක් පමණක් බවත් අද දිනයේ කණ්ඩායම සිදු කරන ක්‍රීඩාව අනුව ජයග්‍රාහකයා තීරණය වනු ඇති බවත්ය.රන් පදක්කම්ලාභී පාකිස්තානය පරාජය කිරීමට තම කණ්ඩායම එකා මෙන් එක්ව කටයුතු කිරීමෙන් හැකි වූ බවත්, කණ්ඩායම් ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන්ගෙන් සමන්විත වීම වාසියක් බවත් ඇය කීවාය.

අවසන් පූර්ව තරගවලදී පරාජය වූ පාකිස්තානය සහ බංග්ලාදේශය අද ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වදිනු ඇත.

රග්බි පිල ආසියානු ඔලිම්පික් ධජයෙන්

ජාත්‍යන්තර තහනමකට ලක්වීම හේතුවෙන් ආසියානු ඔලිම්පික් ධජය යටතේ තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආසියානු තරග ආරම්භය අසාර්ථක විය. රග්බි ඉසව්ව ආරම්භ කරමින් ඊයේ ‘බී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල චීන තායිපේ පිලට එරෙහිව පළමු තරගයට එක් වූ අතර, එහිදී තායිපේ පිලට 22-7ක් ලෙස ජයක් හිමි විය. තරගයේ පළමු භාගය නිමා වන විට තායිපේ පිල ලකුණු 12ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව ලකුණු 7ක් ලබා සිටියේය. කෙසේ වෙතත් දෙවැනි භාගයේදී තායිපේ පිල තවත් ලකුණු 10ක් රැස් කර ගනිද්දී ශ්‍රී ලංකා පිලට ලකුණු රැස් කිරීමට අවස්ථාවක් නොලැබිණි.

අනතුරුව ශ්‍රී ලංකා පිල ඊයේ පස්වරුවේ දකුණු ‍කොරියාවට එරෙහිව තරග වැදුණු අතර, එම තරගයෙන් ද පරාජය වීමට සිදු විය. එහි ලකුණු තත්ත්වය ද 22-7ක් ලෙස සටහන් විය.

බීච් වොලිබෝල් පිල ඉවතට

මේ අතර 16 දෙනාගේ වටයට එක් වූ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් ක්‍රීඩිකාවෝ තායිවානය හමුවේ 2-0කින් පරාජය වීමත් සමඟ තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.

පිහිනුම්

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තිදෙනක් එක්වන පිහිනුම් ඉසව්ව ආරම්භ කරමින් මැතිව් අබේසිංහ ඊයේ මීටර් 100 නිදහස් ආර මූලික වටයට එක් විය. මූලික වටයේ 6 වැනි තරගයට එක් වූ ඔහු තත්පර 51.18කින් තරගය නිමා කළ අතර, ක්‍රීඩකයන් 8 දෙනකු අතුරින් ඔහුට හිමි වූයේ 7 වැනි ස්ථානයයි. මේ හේතුවෙන් අවසන් තරගයට එක්වීමේ අවස්ථාව මැතිව්ට අහිමි විය.

ජිම්නාස්ටික්

කලාත්මක ජිම්නාස්ටික් ඉසව්වට එක් වූ නදිල නෙත්විරු සමස්ත ලකුණු 69.964ක් සමඟින් 5 වැනි ස්ථානයට පත්විය. මේ ඉසව්වේ මුල් ක්‍රීඩකයන් දෙදෙනා පමණක් අවසන් තරගයට එක් වෙයි.

මේ අතර ඔරු පැදීමේ ඉසව්වේ පිරිමි යුගල ස්කල්ස් තරගයේ ‘බී’ කාණ්ඩයේ අවසන් තරගයට එක් වූ මොහොමඩ් නෆිරාන් සහ නුවන් සම්පත් තෙවැනි ස්ථානයෙන් තරගය නිමා කළහ.

රුවල් ඔරු ක්‍රීඩාවේ ඩිංගි යාත්‍රා අයිඑල්සීඒ4 7 වැනි තරගයට එක් වූ අරන්‍යා තාල්‍යා තරගයෙන් ඉවත් වූ අතර, එහි පිරිමි ඉසව්වේදී කාශ්‍යප නානායක්කාර 9 වැනි ස්ථානයට පත්විය. චෙස් ඉසව්වට එක් වූ සුසල් තෙව්ජන් පළමු තරගයේදී හොංකොං ක්‍රීඩකයා පරාජය කළ අතර, දෙවැනි තරගයයේදි උබෙස්කිසතාන් ක්‍රීඩකයා හමුවේ පරාජය විය.

පළමු රන් පදක්කම චීනයට

19 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ පදක්කම් සටන ආරම්භ කරමින් පළමු රන් පදක්කම දිනා ගැනීමට සත්කාරක චීනය සමත් විය. ඔරු පැදීමේ තරගාවලියේ කාන්තා සැහැල්ලු ද්විත්ව ස්කල් ඉසව්වට එක් වූ සූ ජියැකි සහ කියු සෙපෙන් රන් පදක්කම දිනාගත් අතර, එහි රිදී පදක්කම උස්බෙකිස්තානයටත්, ලෝකඩ පදක්කම ඉන්දුනීසියාවටත් හිමි විය.

මේ අතර තරගාවලියේ සමාරම්භක උලෙළ පෙරේදා රාත්‍රියේ චීනයේ හැන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණය හෙවත් බිග් ලෝටස්හිදී චීන ජනපති ෂි ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල්ෆ් ක්‍රීඩක අනුර රෝහණ සහ මලල ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්නගේ නායකත්වයෙන් සමාරම්භක උලෙළට එක් විය.

නිරෝෂාන් ප්‍රියංකර

චීනයේ හැන්ජෝ නුවර සිට..

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT