Home » සමාජ මාධ්‍ය මර්දනයට ආවොත් දෙවැනි අරගලයත් අරඹනවා

සමාජ මාධ්‍ය මර්දනයට ආවොත් දෙවැනි අරගලයත් අරඹනවා

by sachintha
September 25, 2023 1:59 am 0 comment

සමාජ මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළොත් මීළඟ අරගලය අපි අරඹනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙවිනුවර ධීවර වරායේ සංචාරයකට එක්වෙමින් පෙරේදා (23) පැවසීය. වත්මන් රජය සෑම අවස්ථාවකම ජනතාවගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත්, එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට හා අවහිර කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීවේය.

මාර්ගගත දත්ත සුරක්ෂිතභාවය යන වචන ඉදිරිපත් කරමින් සමාජ මාධ්‍යවල අයිතිය රජය අතට ගෙන මර්දනය කිරීමේ ක්‍රියාවලියකට රජය මුල පුරා ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය.

රජය සිදු කරන මෙම මාධ්‍ය මර්දන ක්‍රියාවලිය ත්‍රස්තවාදයක් බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් ජනතාව සමඟ පාරට බැස මෙම මාධ්‍ය මර්දනයට හා සමාජ මාධ්‍ය පාලනයට විරුද්ධව කටයුතු කරන බවත් හෙතෙම පැවසුවේය.

සමාජ මාධ්‍යවල න්‍යායපත්‍ර රටේ ජනාධිපතිගේ හා රජයේ අතට ගැනීමට යන මේ උත්සාහ තුළ තවත් අරගලයක් නිර්මාණය වන බවත් ඒ තුළින් ලොකු පුටු පවා අහිමි වී යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මන්දිරවල සුව යහන්වල සිට වායුසමීකරණ කාමරවල සිට තවදුරටත් ජනතාවගෙන් සැඟවී සිටිය නොහැකි බවත්, මහ පොළොවට පය ගසා ධීවරයන්ගේ දුකට සවන් දෙන ලෙසත් කාමරවල සිට මාධ්‍ය මර්දනය හා මාධ්‍ය නිදහස විනාශ කිරීමට පිඹුරු පත් සකසනවා වෙනුවට මහ පොළොවේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙසත් යම් හෙයකින් මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළ හොත් එවන් රාජ්‍ය ත්‍රස්තවාදී මර්දනයකට විපක්ෂය කිසිදින ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT