ජාතික තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියේ ප්‍රධාන වැඩසටහන ඔක්තෝබර් 11, 12, 13 යන තෙදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පසුගියදා පැවැත්වණු අතර එහිදී තාක්ෂණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජනක සම්පත් ගීකියනගේ, ජාතික අනාගත කුසලතා මුලපිරීම් ආයතනයේ (NFTI) සභාපති මධු රත්නායක, මෘදුකාංග සේවා සමාගම් සඳහා ශ්‍රී ලංකා සංගමයේ (SLASSCOM) සභාපති ජෙහාන් පෙරින්පනායගම්, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසාද් සමරවික්‍රම මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ අදහස් දැක්වූහ.
රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යෑමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ වේගවත් කරමින් මේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය දිරිගැන්වීම සඳහා නව තාක්ෂණය පිළිබඳ දැනුවත්භාවය ගෙනදීම, කුසලතා වර්ධනය, වෘත්තීය උපදේශනය සහ වෘත්තීය අවස්ථා සැලසීම මේ වැඩසටහනේ අරමුණයි. බස්නාහිර පළාතේ (සා/පෙළ සහ උ/පෙළ) හදාරන පාසල් සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සිසුන්, රැකියා අපේක්ෂකයන් මෙන්ම ව්‍යවසායකයන් දැනුවත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. දින 3ක් පුරා පැවැත්වෙන මේ වැඩසටහන කර්මාන්ත සහ වෘත්තීය උපදේශන, තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලිය, සීමාවාසික පුහුණුව සහ රැකියා අවස්ථා සඳහා වේදිකාවක් සපයනු ලබන අතර තාක්ෂණික අධ්‍යාපන ආයතන මගින් තොරතුරු තාක්ෂණ සහ ව්‍යපාර ක්‍රියාවලි පිළිබඳ වැඩමුළු පැවැත්වීමටද නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතාගේ මඟපෙන්වීමෙන් තාක්ෂණ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM), ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලය (FITIS), ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය (ICTA) සහ අනෙකුත් තාක්ෂණික අධ්‍යාපන ආයතන එක්ව මේ වැඩසටහන සංවිධානය කරනු ලබයි.