චීන ශ්‍රී ලංකා සබඳතා ඉදිරියට ගෙනයෑමට වාමාංශික ව්‍යාපාරය වෙනුවෙන් පෙරමුණ ගත් පිලිප්-කුසුමා ගුණවර්ධන යුවළ 1940 දශකයේදී ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමයට දැමූ අඩිතාලම ඉතා ශක්තිමත් බව චීන තානාපති කී සෙන්හොන් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ 73 වැනි සැමරුම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගිය (21) වැනිදා පැවැත්වුණ අවස්ථාවේදීය.
එවකට ‘සිලෝන් චීන මිත්‍ර සංසදය’ නමින් හැඳින්වූ මේ සංගමයේ මුල්ම සභාපතිනිය කුසුමා ගුණවර්ධන මහත්මිය බවත්, ඒ පිළිබඳ චීනය කෘතඥ වන අතරම චීනයට කවදත් හිතැති වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා දැයට දායාද කිරීම සම්බන්ධයෙන් ද කුසුමා ගුණවර්ධන මහත්මියට කෘතඥ විය යුතු බවත් චීන තානාපතිවරයා කියා සිටියේය.
එදා කුඩා පිරිසකගේ සහභාගිත්වයෙන් සාමාජිකයකුගේ නිවෙසේ බිහි වූ මේ සංගමය 1955දී දෙරට අතර තානාපති සබඳතා ඇති වීමෙන් පසු තවදුරටත් ශක්තිමත් වු බව ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ වත්මන් සභාපති ආනන්ද ගුණතිලක මහතා මෙහිදී පැවසීය. සංගමය අරඹන අවස්ථාවේ යටත්විජිතවාදි පාලකයන් පිලිප් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුව අහිමි කර තිබූ බැවින් එතුමා නියෝජනය කරමින් අවිස්සාවේල්ල ආසනයට නිතරගයෙන් පත් වූ කුසුමා ගුණවර්ධන මහත්මිය ඒ තනතුර භාර ගෙන මෙම සංගමය වාමාංශික දේශපාලනය ක්‍රියාත්මක ආයතනයක් බවට පත් කළ බවත්, සංගමයේ ආරම්භක සාමාජිකයන් වූ තේජා ගුණවර්ධන, කොමියුනිස්ට් පක්ෂයේ එවකට නායක සුගීශ්වර ඒ. වික්‍රමසිංහ, පීටර් කේනමන් වැනි දැවැන්තයන්ද සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, රාජිකා වික්‍රමසිංහ, හිටපු නියෝජ්‍ය කථානායක ගීතාංජන ගුණවර්ධන, අගමැති ලේකම් අනුර දිසානායක මහත්ම මහත්මීහු, චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ මේ අවස්ථාවට සහභාගි වූහ.
නුවන් කොඩිකාර