Wednesday, April 23, 2025
Home » ලක්ෂ 10ක හෙරොයින් සමඟ මවත් පුතත් මාට්ටු

ලක්ෂ 10ක හෙරොයින් සමඟ මවත් පුතත් මාට්ටු

-ඩුබායි සිටින නිලංග මේ ජාවාරම පිටුපස සිටින බවත් හෙළි වේ

by sachintha
September 25, 2023 1:43 am 0 comment

23 හැවිරිදි පුතු සමඟ මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ යෙදුණු 39 හැවිරිදි මවක් රුපියල් ලක්ෂ 10කට අධික හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

සැකකාර මව සහ පුතු සමඟ හෙරොයින් ග්‍රෑම් 20කට ආසන්න ප්‍රමාණයක්, පැකට් කිරීමට යොදා ගන්නා උපකරණ, කුඩා කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ මැඬලීමේ රාජකාරියේ යෙදී සිටි පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරීන් බටකැත්තර ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් යොදා කළ රථ වාහන පරීක්ෂාවේදී පිළියන්දල සිට බටකැත්තරට පැමිණි යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කර තිබිණි.

එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදිය නැවැත්වීමත් සමඟම එහි පිටුපස පැමිණි කාන්තාව මඳක් පසුපසට ගමන් කර තිබූ අතර, පැදිකරුගෙන් යතුරුපැදියට අදාළ ලිපි ලේඛන විමසීමේදී එහි ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතිකය නොමැති බවට අනාවරණය විය.

ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහුට පිළිතුරු දීමට අපහසු වීම හේතුවෙන් ඔහු සමඟ පැමිණි කාන්තාව පොලිස් නිලධාරීන් දෙසට කැඳවා පොලිස් කාන්තාවක් ලවා ඇය අත තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 910ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

අනතුරුව සැකකරු සහ සැකකාරිය පොලිසියට රැගෙන ඒමෙන් පසු රඳවා ගැනීමේ නියෝග ගෙන ඔවුන් ඊට මාස 6කට පමණ ඉහතදී බදු පදනම මත බටකැත්තර ප්‍රදේශයෙන් ගෙන තිබූ නිවෙස පරීක්ෂා කිරීමේදී එහි කාමරයේ ඇඳක මෙට්ටයක් යට සඟවා තිබූ තවත් හොරොයින් ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 540ක් සහ ඒවා පැකට් කිරීමට ගන්නා උපකරණ ඇතුළු කඩදාසි තොගයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකාරියගේ සහ සහ සැකකරුගෙන් වෙන වෙනම සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායිහි සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ

‍ෙයදෙන නිලංග නමැත්තකුට අයත් මත්ද්‍රව්‍ය මෙලෙස ජාවාරම් කරන බවත්, පැකට් කිරීම සහ බෙදා හැරීම තමන් වෙත පැවරී ඇති බවත් ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර මව සහ පුතු පාණදුර, අලුබෝමුල්ල පදිංචිකරුවන්ය.

සැකකරු හා සැකකාරිය දින හයක රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී එම්. ඩී. ඩී. නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම, අපරාධ අංශයේ ස්ථානාධිපති දිනේෂ් හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් 56958 ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරුන් වන 51425 තුශාන්ත, 30968 රත්නායක, 97403 වික්‍රමසිංහ, 73277 සේනානායක, කාන්තා පොලිස් කොස්තාපල් 8625 දිල්රුක්ෂි, සිවිල් ආරක්ෂක 5593 කවිශාර් මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT