Tuesday, April 22, 2025
Home » මීගමුව-මහරගම ලංගම බසයක මියගොස් සිටි කත හඳුනාගැනීමට සහාය වන්න

මීගමුව-මහරගම ලංගම බසයක මියගොස් සිටි කත හඳුනාගැනීමට සහාය වන්න

by sachintha
September 25, 2023 1:42 am 0 comment

මීගමුවේ සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක යමින් සිටි කාන්තාවක් එම බස් රථයේදීම මිය ගොස් සිටියදී පෙරේදා (23) සොයා ගත් මහරගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් සිටි කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඇයගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
කිරිඳිවැල ශ්‍රී ලංගම ඩිපෝවට අයත් මේ බස් රථය පෙරේදා (23) උදෑසන මීගමුව බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කර මහරගම අපේක්ෂා රෝහල දක්වා මගීන් ප්‍රවාහනය කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී මේ කාන්තාව බස් රථයට ගොඩවී ඇති බව පොලිසිය කියයි.

එසේ පැමිණි බස් රථයේ මගීන් සියලු දෙනා අපේක්ෂා රෝහල අසලින් බැස ඇතත් මේ කාන්තාව එහි අසුනක නිදාගෙන සිටින අයුරින් සිට තිබේ. ඒ අනුව බස් රථයේ කොන්දොස්තරවරයා ඇය අසලට පැමිණ අවදිවන ලෙස කතා කර ඇතත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඒ බව රියැදුරු මහතාට පවසා පරීක්ෂා කිරීමේදී ඇති වූ සැකය මත එම කාන්තාව ද සමඟ මහරගම පොලිසියට බස් රථය රැගෙනවිත් තිබේ.

පසුව පොලිස් නිලධාරින් බස් රථය පරීක්ෂා කිරීමේදී එම කාන්තාව මිය ගොස් ඇති බවට අනාවරණය වීමත් සමඟ මහරගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්. ඇම්. ඩග්ලස් රූපසිරි මහතා කැඳවා ස්ථානීය පරීක්ෂණයක් සිදු කරන ලදී.

එහිදී මිය ගිය කාන්තාවගේ භාරකරුවකු ඉදිරිපත්වී නොසිටීම නිසාත් ඇයගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට කිසිදු ලේඛනයක් ඇය සන්තකයේ නොතිබීම නිසාත්, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු නොකොට භාරකරුවන් හඳුනා ගන්නා තෙක් දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්ෂිතව තබන ලෙසටත් හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්. ඇම්. ඩග්ලස් රූපසිරි මහතා පොලිසියට නියෝග කළේය.
මේ මෘත දේහය පිළිබඳව තොරතුරක් වෙතොත් 0112 855700 අංකයට අමතා මහරගම පොලිසියට තොරතුරු දෙන ලෙස පොලිසිය මහජනතාවට දන්වා සිටී.
මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (19538) සුදත් පරීක්ෂණ පවත්වයි.
කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT