Home » විහාර-දේවාල පින්කැටවලට වහාම සීල් තැබිය යුතුයි -ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි

විහාර-දේවාල පින්කැටවලට වහාම සීල් තැබිය යුතුයි -ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමි

by sachintha
September 25, 2023 1:36 am 0 comment

එක් විහාරස්ථානයක පමණක් නොව සියලුම විහාරස්ථාන හා දේවාලවල පින්කැටවලට වහාම සීල් තැබිය යුතු යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද පැවැසූහ.
“ජනාධිපතිවරයා මේ සඳහා වහාම පියවරක් ගත යුතුයි. විගණකාධිපතිවරයා සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව විහාර සහ දේවාලවලට ලැබෙන ආධාර විනිවිදභාවයෙන් යුතු විගණනයක් අනිවාර්යයෙන් සිදු කළ යුතුයි.

බොහෝ විහාරස්ථානවල නායක හිමිවරුන් නොව ආධාර සහ පින්කැට පාලනය කරන්නේ එහි සිටින ආරක්ෂක නිලධාරීන්, රියැදුරන් සහ කාන්තාවන්. ඒ සියලුම මුදල් පෞද්ගලික පරිහරණයට ගැනීම ජාතික අපරාධයක්.
දායකයන් භක්තිමත්ව දෙන ආධාර මෙලෙස ගසා කෑම හේතුවෙන් කිසිදු විහාරස්ථානයක හෝ දේවාලයක සංවර්ධනයක් සිදු වන්නේ නෑ. එම ආධාර හෝ මුදල්වලට සිදු වන්නේ කුමක්ද යන්න කිසිවකු නොදැනීම ගැටලු සහගතයි.

විහාර දේවාලගම් පනත සං‍ශෝධනය කිරීමත් කාලීන අවශ්‍යතාවක්. ඒ අනුව සංඝාධිකරණ පනත ද ගෙනැවිත් ධර්ම සංඝායනාවක් ද පවත්වා බුදු දහම රැක ගැනීමේ දැඩි අවශ්‍යතාවක් මේ යුගයේ උදාවී තිබෙනවා.

එදා රජවරුන් අක්කර සිය දහස් ගණන් විහාරස්ථානවලට පූජා කළේ පරම සද්භාවයෙන්. අද එම රජවරුන් සිටියේ නම් උදා වන්නේ කුමන තත්ත්වයක්ද. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැතිවරයාව සිටියදී අකිල විරාජ් කාරියවසම් මහතා සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පින්කැට සීල් තැබීමට කටයුතු කරද්දී එයට බොහෝ පිරිස් විරුද්ධ වුණා. මම පමණක් එය අනුමත කළා. පින්කැටවලට සීල් තැබීමට විරුද්ධව කටයුතු කරන්නේ හොර තක්කඩියන් පිරිසක්.

විහාරස්ථාන සහ දේවාලවලට ලැබෙන පින්කැටවල මුදල් මාසිකව ගණනය කර පොදු අරමුදලකට දැමිය යුතුයි. ඒවා ගසා කන්නන්ට එරෙහිව දූෂණ විරෝධී පනත අනුව කටයුතු කළ යුතුයි.”
රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT