Home » හමුදා සේව­යෙන් ඉවත් වූ පෞද්ග­ලික බස් කොන්දො­ස්තර කම්බා හොරෙක්

හමුදා සේව­යෙන් ඉවත් වූ පෞද්ග­ලික බස් කොන්දො­ස්තර කම්බා හොරෙක්

බස් ගාස්තුව අරන් තියෙන්නේ කුඩුවලින්

by Gayan Abeykoon
September 23, 2023 1:30 am 0 comment

කුරුණෑගල - සුනිල් එස්. පැල්ලන්දෙණිය මහව - සංජීවනී ආරියරත්න

ත්‍රිරෝද රථ, යතුරුපැදි සොරකම් හා ඒ. ටී. එම්. කාඩ් මඟින් සිදුකළ මුදල් වංචා රැසකට සම්බන්ධ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකරු අලව්ව, පහළ වලකුඹුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙකි. ඔහු යුද හමුදා සේවයේ නිරතව සිට ඉන් ඉවත්වූ අයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

තමන් සේවය කරන පෞද්ගලික බස් රථයේ ගමන් ගත් මඟියෙකු හා මිතුරුව ඔහුගෙන් මුදල් වෙනුවට හෙරොයින් පැකට් ලබාගත් සිද්ධියක් පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව අදාළ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරු පිළිබඳව සිදු කරන ලද මූලික විමර්ශනවලදී ඔහු යතුරුපැදි සොරා ගැනීම්, මංකොල්ලකෑම් මුදල් පසුම්බි පැහැර ගැනීම් ඇතුළු සිදුවීම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවට ද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකාර කොන්දොස්තරවරයා මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වූවකු බවත් ඔහුට සහය පළ කළ තවත් සැකකාර යුවළක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ දියත් කොට ඇති බව මහව මූලස්ථාන පොලිසිය පවසයි.

ඉකුත් 19 වැනි දින අනුරාධපුර වී අලෙවි මණ්ඩලයේ සේවිකාවකගේ රුපියල් එක්ලක්ෂ දසදහසක් (1,10,000) පමණ වටිනා යතුරුපැදියක් දළදාගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් අසල නවතා තිබියදී අතුරුදන්ව තිබේ. එදිනම මහව වී අලෙවි මණ්ඩලයේ සහකාර ප්‍රාදේශීය කළමනාකරුගේ යතුරුපැදිය ද අතුරුදන්ව ඇති බවට මහව මූලස්ථාන පොලිසියට ලැබුණු පැමිණිලි දෙකකට අනුව විමර්ශන ආරම්භ කිරීම පසුව එම සොරකම් දෙකටම අදාළ කොන්දොස්තරවරයා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. යතුරුපැදි සොරාගත් සැකකරු අලව්ව ප්‍රදේශයේ සැරිසරන බවට ලැබුණු තොරතුරක් මත මහව පොලිස් නිලධාරීන් අලව්ව නගරයේ සිදුකළ පරීක්ෂාවකදී වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය නිලධාරිවරයාගේ යතුරුපැදිය සමඟ සැකකරු ඉකුත් 20 වැනිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දළදාගම ප්‍රදේශයෙන් සොරා ගත් යතුරුපැදිය මහව උඩගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු හා කාන්තාවක විසින් සොරාගෙන අලව්ව ප්‍රදේශයට ගෙනැවිත් සැකකරුට භාර දුන් බව ඔහු පවසා තිබේ.

එම යතුරුපැදිය තිදෙනා එක්ව ගම්පහ ප්‍රදේශයේ සුද්දා නැමැත්තකුට රුපියල් පනස් දහසකට (50,000) අලෙවි කර ඇති බව ද පොලිසිය පවසයි.

සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු විසින් කොටුව පොලිස් වසමෙන් යතුරුපැදි තුනක් සහ ත්‍රිරෝද රථයක්, අලව්ව හා පොල්පිතිගම ප්‍රදේශවලින් යතුරුපැදි එක බැගින් හා මහව ප්‍රදේශයේ මුදල් පසුම්බි තුනක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කර තිබේ.

සොරා ගත් මුදල් පසුම්බිවල තිබූ ඒ.ටී.එම්. කාඩ් භාවිතා කර ඒවායින් රුපියල් 350,000ක්, 200,000ක් හා 116,000ක් ආදී ලෙස මුදල් සොරාගෙන ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

සැකකරු අලව්ව ප්‍රදේශයෙන් සොරා ගත් යතුරුපැදියෙන් ගොස් වරකාපොළ පොලිස් වසමේදී බස් රථයක සවිකර තිබූ රූපවාහිනී යන්ත්‍රයක් ගැලවීමට උත්සාහ ගත් අවස්ථාවේදී බස් රථය හිමිකරුවන් විසින් සැකකරු අල්ලා ගැනීමට තැත් කරද්දී ඔහු යතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් තිබේ. ඉන් පසුව එම යතුරුපැදිය වරකාපොළ පොලිසිය විසින් සොයා ගෙන තිබූ බව මහව මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකාර කොන්දොස්තරවරයා විසින් සොරා ගන්න ලද යතුරුපැදි කිහිපයක්ම සුද්දා නැමැති අයට අලෙවි කර ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඉකුත් 20 වැනිදා පොලිසිය සුද්දා නැමැත්තාගේ නිවෙසට ගිය විට අනාවරණය වූයේ ඉකුත් 19 වැනිදා රාත්‍රියේදී සුද්දා නමැත්තා අයිස් ග්‍රෑම් 10ක ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන මහර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

සැකකාර කොන්දොස්තරවරයා විසින් සොරාගත් අනෙකුත් භාණ්ඩ හා දේපළ පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා මහර රක්ෂිත බන්ධනාගාරගතව සිටින සුද්දා නැමැති සැකකරුගේ ප්‍රකාශ අධිකරණය නියෝග මත ලබාගෙන ඉදිරි විමර්ශන සිදු කිරීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සැකකරු පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවයේ නිරතව සිටින අවස්ථාවේදී මහව ප්‍රදේශයේ පදිංචි අනෙක් පුද්ගලයා මුණගැසී ඇති බවත් හිතවත්කම් මත බස් රථයේ ගමන් ගන්නා විට මුදල් නොගෙවා ඒ වෙනුවට හෙරොයින් පැකට් ලබා දී අපරාධ සිදු කිරීමට එකතුව ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය විමර්ශන සිදු කරන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT