ඉන්දියාව පිළිබඳව වර්තමානයේ බොහෝ මාතෘකා කතාබහට ලක් කළද මේ මොහොත වන විටත් යළිත් කතාබහට ලක් වන මාතෘකා දෙකක් පවතී. ඉන් අලුත්ම පුවත වන්නේ ඉන්දියාව සහ කැනඩාව අතර විරසකයක් මතු වීමේ කතාබහක් තිබෙන හෙයිනි. එයට හේතුව වූයේ කැනඩාවේ දේවස්ථානයක් ඉදිරිපිටදී පසුගිය වසරේ ජුනි 18 වනදා සික් ජාතිකයකු ඝාතනය කිරීමේ සිදු වීමයි. මෙකී කරුණ අරබයා කැනඩාවේ අගමැතිවරයා පවා ප්‍රකාශ කර සිටියේ එම ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියාව වගකිව යුතු බවයි. ඝාතනයට ලක් වූ සික් ජාතිකයා ඝාතනයට පෙර නිරන්තරයෙන් පවසා සිටියේ තම වර්ගයා වෙනුවෙන් භූමි කොට්ඨාසයක් තමන්ට අවැසි බවයි. කෙසේ වෙතත් මේ කරුණු කාරණා සිදු වන අතරේ කැනඩාව විසින් එරට සිටි ඉන්දීය බුද්ධි අංශයේ ප්‍රධානියා පවා පිටුවහල් කරන්නට කටයුතු කළේය.
මේ සමඟ හිටි හැටියේ කඩාපාත්වුණු ඉන්දීය අගමැතිවරයා ද කටඋඩබලා සිටියේ නැත. ඔහුද නියෝගයක් පනවමින් කියා සිටියේ දින 5ක් ඇතුළත කැනඩා රාජ්‍ය නියෝජිතයන් ඉන්දියාවෙන් පිටව යා යුතු බවයි. කොයිහැටි වෙතත් මේ වන විට විදෙස් පුවත් සේවාවන් සඳහන් කරන අයුරින් දෙරට අතර, රාජ්‍යතාන්ත්‍රික අර්බුද මතු වෙමින් පවතී. ඒ කතාව එහෙමය. එය එසේ වන විට ඉන්දියාව පිළිබඳව මතු වෙමින් පවතින අනෙක් මාතෘකාව වන්නේ තම රටේ නාමය භාරත් ලෙසින් වෙනස් කිරීම පිළිබඳවය.
අප දන්නා කාලයේ සිට ශ්‍රී ලංකාවේ අල්ලපු රට නම් කරනු ලැබ සිටියේ ඉන්දියාව කියාය. දේශය, භාරත වුවද ලෝකය සෑම තැනකම එරට සඳහන්වනු ලැබුවේ ඉන්දියාව කියායි. එහි සියලු ජයග්‍රහණ මෙන්ම ක්‍රියාකාරකම් සටහන් වූයේ ඉන්දියාව නම් නම ඉදිරියේය. එහෙත් මේ වන විට ඉන්දියාව යන නම ඉවත් කර භාරත් යන නම එය වෙනුවට ගෙන ඒමට යෝජනාවක් පැමිණ තිබේ. එය ගෙන එනු ලැබුවේම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හරහාය. ඔහුට ඉන්දියාවේ නම භාරත් යනුවෙන් හඳුන්වා දීමට එක් කරුණක් තිබුණා වන්නට පුළුවන. මන්ද ඔහු නියෝජනය කරනු ලබන පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ඒ හා ළඟින් යන නිසා වන්නටද පුළුවන. කොයිහැටි වෙතත් මහා ඝෝෂා කිසිත් නැතිවම මෙය ලෝකයාට කියන්නට ඉන්දියාව සූදානම් වූයේ ජී 20 සමුළුව හරහාය. එහිදී ඉන්දීය ජනපතිනිය විසින් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඇරියුම් කරනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ආරාධනා පත්‍රයේ සඳහන් කර තිබුණේ භාරත් ජනාධිපතිනිය විසින් ඔවුනට ඇරියුම් කරනා බවයි. එය වෙනම කතාවක අලුත් ඇරඹුමකි.
මොකක් ද මේ භාරත්
ඉන්දියාවට භාරත් යන නම ලැබී ඇත්තේ අපූරු ආකාරයකටය. භාරතය යනු ප්‍රාන්තවල එකමුතුවක් වන අතර, විවිධ ආගම්, සිරිත් විරිත් හා බැඳුණු සංස්කෘතීන් මෙන්ම විවිධත්වය නොයෙක් අයුරින් වැලඳ ගන්නා කලාපයකි. පුරාතනයේ සිට මෙනිසා එය හඳුන්වාදී ඇත්තේ සංස්කෘතත් මුල් නමක් ලෙසින් භාරත් ලෙසිනි. පුරාතනයේ සිට සඳහන් වන ආකාරයට මෙම භාරත අධිරාජ්‍යයට අයත්වන රටවල් ලෙසින් හඳුන්වාදී ඇත්තේ ඉන්දියාව මෙන්ම පකිස්තානය, චීනය, ඇෆ්ගනිස්තානය, ටජිකිස්තානය, ඉරානය, උස්බෙකිස්තානය, නේපාලය, ටිබෙටය, බංග්ලාදේශය, වයඹ ටිබෙටය හා ටර්ක්මෙනිස්තානය ආදී රටවල්ය. මෙහි නම ආරම්භ වූවා යැයි සැලකෙන්නේ කවර ආකාරයටද යන්න මහා භාරතයේ සඳහන් වන්නේ වෙනම ආකාරයටය. එහි සඳහන් වන ආකාරයට භාරත චක්‍රවර්තී රජුගේ නමින් වර්තමාන ඉන්දියාව භාරතය ලෙසින් හඳුන්වා තිබෙන බව සඳහන්ය. ඒ කතා කෙසේ වෙතත් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරම්භ වන්නේම ‘ඉන්දියාව, එනම් භාරතය’ යන වචනය මූලික කර ගනිමිනි. ඒ අනුව ඉන්දියාව යන නාමය මූලික කරගනු ලැබුවද ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පටන් ගෞරවනීය නමක් ලෙසින් සලකනු ලැබුවේ භාරතය යන්නයි. ඒ “ඉන්දියාව, එනම් භාරතය රාජ්‍ය සංගමයක් වනු ඇත” ලෙසිනි. සමාජ විද්‍යාඥයකු වන Catherine Clementin – ojha සඳහන් කරන්නේ භාරතය යනු දේශපාලනික හා භූගෝලීය නාමයකට වඩා, බ්‍රාහ්මණ සමාජ ක්‍රමය පවතින අධිකලාපීය සහ උපමහද්වීපික ප්‍රදේශයක් ලෙසයි.
භාරතය අත්හැරි ඉන්දියාව
ඉතිහාසය ගැන කතාකිරීමේදී අවබෝධ කර ගත යුතු කාරණාවක් වන්නේ ඉන්දියාව යනු භාරතය අත්හැරදමා අලුතින් එක්කරගත් නාමයක් බවය. 18 වැනි සියවසේ අගභාගයේ සිට බ්‍රිතාන්‍ය සිතියම්හි වැඩි වශයෙන් නම් කරනු ලැබුවේ එරට ඉන්දියාව මිස භාරතය නම් රටක් ලෙසින් නොවේ. කෙසේ වෙතත් 1950 වසරේ ජනවාරි 26 යනු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වූ කාලයයි. මෙම කාලයේදී ද ඉන්දියාව සඳහා නිල නාමය ලෙසින් යොදා ගනුයේ භාරත්ය. එහෙත් අතීත විස්තරයන්හි සඳහන් වන ආකාරයට මහාභාරතය යන්න ඉන්දියාව ලෙසින් භාවිතයට ගැනුණේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. සරලවම කිවහොත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ වුවමනාකම් මතය. ඉන්දීය ජාතිකයන් මේ සම්බන්ධයෙන් විරුද්ධත්වයක් දැක්වූ අතර, ඔවුන්ගේ අදහස වූයේ එය යටත් විජිත කාලයේ මෙන් ඒ හා බැඳුණු නාමයක් ලෙසිනි.
කොයිහැටි වෙතත් ඉන්දියාවේ නම මේ මොහොත වන විට වෙනස් කිරීමට කරුණු ඕනෑවටත් වඩා ඇති බැව් සඳහන් කරන්නේ ඉන්දීය දේශපාලන විචාරකයින්ය. ඔවුන් සඳහන් කරනු ලබන කරුණුවලට අනුව එහි මූලිකම හේතුව වන්නේ පවතින රජයට එරෙහිව ගොඩනඟාගත් සන්ධානයේ නම කෙටි කළ විට එය රටේ නමට සමාන වන හෙයින් භාරත් ලෙසින් ඉන්දියාවේ නම වෙනස් කිරීමට පවතින රජය විසින් කටයුතු කර ඇති බවයි. එනම් සන්ධානයේ කෙටි නම වන්නේ INDIA යන්නයි. භාරතීය ජනතා පක්ෂයට එරෙහිව ගොඩනැඟූ සන්ධානය වන්නේ Indian national Developmental Inclusive Alliance යන්නයි. මෙයින් රටේ නම පිළිබිඹු වීම භාරතීය කොංග්‍රස් පක්ෂයට හිසරදයක් වූ හෙයින් ඔවුන් තම පක්ෂයේ නමට ළඟින් යන භාරත් යන්න රටේ නමට යොදා ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බවයි. විරුද්ධ පක්ෂයේ නායකයින්ගේ මතය වන්නේද එයයි. එහෙත් එයට ප්‍රතිඋත්තර දුන් පාලක කොන්ග්‍රස් පක්ෂය කියා සිටියේ විපක්ෂය කලබල විය යුතු නැති බවත් ඔවුන්ට කළ හැකි හොඳම දෙය වන්නේ BHARATH කියවෙන අයුරින් ඔවුන්ගේ නම වෙනස් කළ හැකි බවත්ය.
එහෙත් කවුරු කොයි හැටි සඳහන් කළ ද තම තමනට හිතු මනාපේ රටක නමක් වෙනස් කරන්නට නම් සම්මත කරගත් නීති ප්‍රකාරයෙන් එය සිදු විය යුතුය. ඒ අනුව ඉන්දියාවේ නම භාරත් ලෙසින් වෙනස් වීමට නම් ඉන්දියානු පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ හා ලෝක් සභා මන්ත්‍රී මණ්ඩලයන්හි තුනෙන් දෙකක බහුතර බලයකින් එය සම්මත විය යුතුය. මුලින්ම සඳහන් වූ පරිද්දෙන් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත විශේෂ සැසිරවාය තුළදීය.
පක්ෂ විපක්ෂ
කොයි ආකාරයෙන් වුවත් සියලු තැන්හිදී මෙන්ම භාරත් නම එළිදැක්වීම සඳහා ඉන්දියා යන නාමය ඉවත් කිරීම සම්බන්ධව පක්ෂව මෙන්ම විපක්ෂව ද බොහෝ දෙනකු කරුණු ඉදිරිපත් කර සිටී. විශේෂිතම කරුණ වන්නේ ඉන්දියාවේ ජනප්‍රියතම නළුවකු වන අමිතාබ් භච්චන් මේ සඳහා තම ප්‍රසාදය පළ කර සිටීමය. එමෙන්ම ඊටත් පෙරම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවකු වූ වීරේන්ද්‍ර ෂෙවාග් ද මේ සඳහා තම කැමැත්ත ප්‍රකාශ කර සිටියේය. එපමණින් නොනැවතුණු ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද ඉල්ලා සිටියේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ඇඳුම් ආයිත්තම් ආදියේ ඉන්දියා නම නොව භාරත් යන්න සඳහන් කළ යුතු බවයි. එහෙත් මේ ආකාරයටම ඊට විරුද්ධ වන පිරිසක් ද සිටිති. විශේෂයෙන්ම ඉන්දීය ජාතික කොංග්‍රසය මෙන්ම සන්ධානයේ අනෙකුත් විපක්ෂයේ පක්ෂ ද මේ කටයුත්ත වෙනුවෙන් දක්වන්නේ දැඩි විරෝධයකි.
කෙසේ වෙතත් මේ සියල්ල සලකා බලනවිට පෙනී යන කරුණ වන්නේ ඉන්දියාවේ නම වෙනස් කිරීම පිටුපස ඇති මූලිකම බලය වන්නේ දේශපාලනය බවය. එය ඒ ආකාරයෙන් වුවද මෙහි අවසානය නිසැකවම අපට දැක ගන්නට හැකි වන්නේ ඉන්දියාව භාරත් වූ දිනටය. එසේත් නැත්නම් භාරත දේශය තුළ ඉන්දියාව ඒ අයුරින්ම විරාජමානව සිටියහොත් පමණි.
රජිත බස්නායක