දැවෙන විහඟුන්, ඉගිලෙන මාළුවෝ, විහඟ ප්‍රේමය ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමාකරු, සංජීව පුෂ්ප කුමාරගේ ‘ආසු’ චිත්‍රපටය ඔක්තෝබර් 11 දින සිට MPI මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගත කිරීමට නියමිතය. ඒ ඇතුළු නූතනය පිළිබඳ අපි දැන් මේ දිනවල මෙරටට පැමිණ සිටින ඔහුත් සමඟ කතා කරමු.
‘ආසු’ ඉන්දිරාගේ චරිතාපදානය ද?
ඒ මත පදනම්ව කළ නිර්මාණයක් රූගත කිරීමකට කලින් ඔබේ පෙර සූදානම කොහොමද?
සාමාන්‍යයෙන්, මං කොහොමටත් පෙර පුහුණුවීම් කරනවා. මේ චිත්‍රපටයේ උදාරි වර්ණකුලසූරිය සිත්තරාවක්. අනෙක, ඇය රෝගිනියක්. ඇයට ඊට අදාළ පෙර පුහුණුවීම් අවශ්‍ය වුණා. චිත්‍ර ශිල්පීන්, රෝහල් ඇසුරේ යම්තාක් දුරකටවත් ඇයට ඒ පිළිබඳ අත්දැකීම් දීමට උත්සාහ ගත්තා.
ඔබ මුල් වරටයි උදාරිව මෙහෙයවන්නේ?
ඊට කලින් රංගන ශිල්පිනියන් කිහිපදෙනකුම මේ චරිතය සමඟ සසඳා බැලුවා. ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඒත් ඔවුන්ගෙන් මේ චරිතයට අනන්‍ය නොවන ලක්ෂණ පෙනුනා. එහෙමයි, උදාරි දෙසටත් හැරුණේ. පිළිකා රෝගී තත්ත්වය සමඟ බාහිර පෙනුම වෙනස් වන ස්වභාවයත් මෙහිදී අවශ්‍ය වුණා. අනෙක, උදාරි ඒ චරිතය ගැන පුහුණුවක් ලැබුවා. හැදෑරීමෙන්, කැපවීමෙන් කළා. හොඳින් ඇහුම්කන් දුන්නා.
ඔබේ අනෙක් නිර්මාණවලට වඩා මේ චිත්‍රපටය වෙනස් නේද?
සමාජ, දේශපාලන, සංස්කෘතික කරුණුනේ කලින් ඒවාට පදනම් කර ගත්තේ. මං මේ මුල් වරටයි ඉන් පිටස්තර වැඩක් කළේ. මේ සත්‍ය කතාවක්. වෛද්‍ය විද්‍යාත්මක පැතිකඩක් තියෙනවා. බෞද්ධ දර්ශනයත් අන්තර්ගතයි. මේ අනෙක් චිත්‍රපට වගේ මගේ ප්‍රධාන වෙළෙඳ පොළ වෙන, අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා කළ නිර්මාණයකුත් නෙවෙයි. ‘මැදි’ චිත්‍රපට අධ්‍යක්ෂණයට නිර්මාණකරුවන් 20 දෙනකුට අන්තර්ජාතික ආයතනයක් වෙනුවෙනුයි මේ නිර්මාණය කළේ. එසේම, මෙහි බරපැන සඳහා අමිල් අබේසුන්දර දායක වෙනවා. එසේම, නිව්යෝර්ක්, දකුණු ආසියාතික, රුසියානු ආදී සිනමා උලෙළ ගණනාවක් ‘ආසු’ නියෝජනය කරනවා.
ඔබට ඇරුණු අන්තර්ජාතික සිනමාවේ දොරටු අබියස තව හුඟ දෙනෙක් බලා සිටිනවා?
ඒ ඉතා අපහසු කාර්යයක්. කවුරුවත් අපිව පිළිගන්න සූදානම් නැහැ. දක්ෂ නිර්මාණකරුවන් ලෝකයේ හැම තැනකම ඉන්නවානේ. ඉතින් අපි විෂය දැනුම, නිපුණතාව ඉහළ නංවා ගන්නම ඕනෑ. ‘ටැලන්ට්’ එකත් අවශ්‍යමයි. මේ සියල්ල තිබියදීත් ප්‍රතික්ෂේප කිරීම් එමට විය හැකියි. අදටත් මෙරටින් ප්‍රතික්ෂේප වන අවස්ථා මට තියෙනවා. ඒත්, ඊට එක්වරම ඇතුළු වෙන්න වරම් නොලැබෙන්න පුළුවන්. බොහෝ වාර ගණනක් උත්සාහ දරන්න වෙනවා.
ලෝකයාගෙන් උගත් දේ මෙරටට දෙන්න කැමැති නැද්ද?
මං හුඟක් උත්සාහ කළා. කොළඹ එක් රාජ්‍ය ආයතනයක සිනමා පාඨමාලාව පිළිබඳ විෂයමාලා පවා සකස් කළා. ඒත් දේශපාලන බලපෑම් නිසා එහි එවකට සිටිය සභාපතිනිය ඊට හරස් වුණා. පසුව, ඇය ඒ කාර්යය පැවරූ කණ්ඩායමත් එය අත්හැර දැමුවා. මං ලංකාවට ඇවිත් ඉන්න කාලේ එක් සරසවි ඇදුරකු බාහිර කථිකාචාර්යවරයකු විදියට ආරාධනා කළත් එහි ඉහළ කළමනාකාරිත්වය එය ප්‍රතික්ෂේප කර තිබුණේ ‘එයාට මෙහේ උගන්වන්න විෂයයක් නැහැ’ කියලායි. ඒ කොහොම වුණත් මට එහෙම කවුරුත් ලොකුවට අඬගහලාත් නැහැ. මං ඒ අවස්ථාව ඉල්ලගෙන ගිහිල්ලත් නෑ. හැබැයි එහෙම යමක් බලාපොරොත්තු වුණොත් ඒක ඉටු කරන්න මං ලෑස්තියි.
ලාංකේය සිනමාව ගැන මෙරටින්ම බොහෝ මැසිවිලි නැඟෙනවා?
ඒක පුදුමයට කරුණක් නෙවෙයි. ඒ ගැන පුළුල්ව කතා කරන්නත් ඕනෑ. අනෙක, වැරදි ප්‍රතිපත්ති, නුසුදුස්සන් යටතේ කෙරෙන දෙයක් සාර්ථක වෙයිද? අනෙක, අදාළ විෂයය පිළිබඳ දැනුමැති, එහි නිරත වන අය නෙවෙයිනේ ඒ හුඟක් තැන්වල බලධාරීන්, නිලධාරීන් විදියටත් ඉන්නේ. දැන්වත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. දශකයක විතර ඉඳන් අපේ විශ්වවිද්‍යාලවලින් ජාතික මට්ටමේ සිනමාකරුවන් බිහිකර ගැනීමට බැරිවීමත් සාකච්ඡාවට ගත යුතු කරුණක්. චිත්‍රපට බෙදාහැරීමේ කාර්යයේදීත් ගැටලුකාරියි. ඒකට තාරුණ්‍ය නෙවෙයි, ගුරුවරුත් වග කියන්න ඕනෑ.
ඒ කොහොම වුණත් අපේ තාරුණ්‍යයට කොතරම් දුරට අන්තර්ජාතික මට්ටමෙන් සිනමා හැදෑරීමේ අවස්ථාව හිමිද කියන ප්‍රශ්නය තියෙනවා. සිනමාව කොරියාව, ආර්ජන්ටිනාව ආදී රටවල් පාසල් විෂයය නිර්දේශයටත් ඇතුළත් කර තියෙනවා. මෙරටත් ඒ පිළිබඳ අවධානය යොමු කර තිබුණත් ඒ විෂයය ඉගැන්වීමට සුදුසුකම්ලත් ගුරුවර, ගුරුවරියන් බිහිකර ගැනීමත් එතරම්ම වැදගත් වෙනවා.