ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (22) ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්ව ආරම්භ කරමින් තරග බිමට පිවිසෙයි. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තෙවැනි තරගය ලෙස පැවැත්වෙන මෙහිදී ශ්‍රී ලංකා තා පිල තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. මේ අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සහ පාකිස්තානය ඊයේ සමත් විය. අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී ඉන්දියාව මැලේසියාවට එරෙහිවත්, දෙවැනි තරගයේදී පාකිස්තානය ඉන්දුනීසියාවට එරෙහිවත් තරග වැදීමට නියමිතව තිබූ අතර, වර්ෂාව හේතුවෙන් පළමු තරගය විසඳුමකින් තොරවත්, දෙවැනි තරගය පන්දුවක් හෝ නොයවාත් අත්හැර දැමීමට සිදු විය. සිවුවැනි අර්ධ අවසන් තරගය අද පැවැත්වෙන්නේ බංග්ලාදේශ සහ හොංකොං අතරය. මේ තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම්වලට එරෙහිව 24 වැනිදා අවසන් පූර්ව වටයට එක් වනු ඇත.පදක්කම් සඳහා අවසන් මහා (රන්-රිදි) සහ තෙවැනි ස්ථානය (ලෝකඩ) තරග දෙක 25 වැනිදාත් පැවැත්වේ.
බීච් වොලිබෝල් ජය
මේ අතර තරගාවලියේ කාන්තා බීච් වොලිබෝල් ඉසව්වට එක් වූ චතුරිකා මධුෂානි සහ දීපිකා බණඩාර මූලික වටයේ තරගයකදී දකුණු කොරියාවට එරෙහිව 2-0ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
ඔරු පැදීමේ ඉසව්වේ පිරිමි කේවල ස්කල්ස් ඉසව්වට එක්වූ මොහොමඩ් නෆිරාන් පෙරේදා සිවුවැනි ස්ථානයට පත්වූ අතර, ඊයේ එම ඉසව්වෙන්ම රිප්චෙන්ජ් පළමු තරගයට එක් වූ ඔහු දෙවැනියා ලෙස තරගය නිමා කළේය.
සමාරම්භය හෙටයි
මේ අතර ආසියාවේ විශාලතම ක්‍රීඩා තරගාවලිය වන ආසියානු ක්‍රීඩා උලෙළේ දහනම වැනි අදියරේ සමාරම්භක උත්සවය හෙට (23) චීනයේ හැන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ප්‍රේක්ෂකයන් 80,000කට ඉඩකඩ ඇති මේ ක්‍රීඩාංගණය 2018 වසරේ නිම කරන ලද්දකි.
මේ විචිත්‍රවත් උත්සවයෙන් චීන ජනයාගේ සංස්කෘතිය, ඉතිහාසය මෙන්ම සහභාගී වන රටවල් අතර ක්‍රීඩාශීලිත්වය සහ මිත්‍රත්වය ප්‍රදර්ශනය කෙරෙනු ඇත. සමාරම්භක උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස චීන ජනපති ෂී ජින්පින් මහතා සහභාගිවීමට නියමිතය.
මේ ක්‍රීඩා උලෙළ පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල්දැමිණි. කෙසේ වෙතත් මෙවර ක්‍රීඩා උලෙළ පැවැත්වෙන්නේ 2022 ආසියානු ක්‍රීඩා උලෙළ ලෙසිනි.