ඉතා අමානුෂික ලෙස අසූහැවිරිදි සිය මවට පහර දී ඇති බව කියන හතළිස් හැවිරිදි සැකකාර පුතෙකු ඔක්තෝබර් මස 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (20) පස්වරුවේ නියෝග කළේය.
තිහාරිය, කත්තොට ප්‍රදේශයේ පදිංචි වැලිවිට ලියනගේ දොන් ආරියවංශ පියසේකර (40) පෙරේරා නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
අසූහැවිරිදි සිය වයෝවෘද්ධ මවට ඉතා අමානුෂික ලෙස පහර දීම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකාර පුතා අත්අඩංගුවට ගෙන තිබිණ.
නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. ඇල්. රවීන්ද්‍ර මහතා කරුණු දක්වමින් සැකකරු ඉතා අමානුෂික ලෙස මවට පහරදීම් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි කියා සිටියේය.
මොහු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කිරීමේදී පරීක්ෂණවලට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුනු බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කීය.
මොහු වැදගත් පවුලක පුද්ගලයෙකු බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කැරිණි.
සැකකරු රාගම රෝහලේ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඒ පිළිබඳ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද බන්ධනාගාර නිලධාරීන් හට නියෝග කැරිණි.
නැවත කැඳවීම ඔක්තෝබර් මස 02 වනදාට කල් තැබිණ.
නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. ඇල්. රවීන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවිය.