මීගමුව මෝයකට ආශ්‍රිත මංකුලිය ප්‍රදේශයේදී ඊයේ (21) අලුයම 02:45ට පමණ ලැබුණු තොරතුරක් මත මීගමුව නාවික හමුදා අනුඛණ්ඩය විසින් වටලා රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇති කේරල ගංජා කිලෝ 400 ග්‍රෑම් 842ක් හා අධිබලැති එන්ජිමක් සහිත ඩිංගි බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදා නිලධාරීන් මෙම වැටලීම කරන අවස්ථාවේ සැකකරුවන් පලා ගොස් ඇතැයි කියයි. අත්අඩංගුවට ගත් ගංජා තොගය ඇතුළු නඩු භාණ්ඩ මීගමුව සුරාබදු ස්ථානය වෙත භාරදෙන ලදී. මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක වජිර විජේසිංහ මහතා පැවසුවේ 21 වන දින නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන බවය. බෝට්ටුව අයිතිකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කරන බව සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මීගමුව නාවික හමුදා අනුඛණ්ඩයේ ලුතිනන් කමාන්ඩර් C.D.P.A. ගමගේ ප්‍රධාන සුළු නිලධාරීන් වන W.N. ලලිත් ,S.L. විමලදාස යන අය මෙම වැටලීමට එක් වූහ.