Monday, April 21, 2025
Home » CID විශේෂ විමර්ශන ඒකකය මූලික අයිතිවාසිකම් කඩලා
බොරු පැමිණිල්ලකට රිමාන්ඩ් කිරීම

CID විශේෂ විමර්ශන ඒකකය මූලික අයිතිවාසිකම් කඩලා

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

by mahesh
September 22, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරන ලද ව්‍යාජ පැමිණිල්ලක් මත පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට කටයුතු කිරීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ඒ අනුව එම පුද්ගලයා වෙත රුපියල් මිලියන තුනක වන්දි මුදලක් ගෙවන ලෙස අදාළ ව්‍යාජ පැමිණිල්ල කරන ලද ගෝනවල, පමුණුවිල, පදිංචි එම්.එම්. සවීන් චතුරංග නමැත්තාට නියම කෙරිණ.

එසේම රුපියල් හැත්තෑපන්දහසක වන්දි මුදලක් ගෙවන ලෙස පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ජේ. මාරසිංහ මහතාට නියම කෙරිණ.

රුපියල් විසිපන්දහස බැගින් වන වන්දි මුදල් වෙන වෙනම ගෙවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඒ.එස්. සුදසිංහ මහතාට සහ පොලිස් කොස්තාපල් එච්.ජී.සී.පී. ප්‍රියදර්ශන යන අයට නියම කෙරිණ.

පෞද්ගලික මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් කරන ලද අසත්‍ය පැමිණිල්ලක් මතුව තමන් අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට පැමිණිලි කරමින් කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි ගනේෂන් සැම්සන් රෝයි නමැති පුද්ගලයකු මෙම පෙත්සම ගොනුකර තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, එම්.එම්. සවීන් චතුරංග, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු අටදෙනෙක් පෙත්සම මඟින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටියහ.

මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ පූර්ණ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

ඉදිරිපත් වූ පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාව විමසීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවත් යම් අයකුගේ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා යුක්තිය පසිඳලීමේ යන්ත්‍රණය ක්‍රියාත්මක නොවිය යුතු බවත් මෙම නඩු තීන්දුවෙහි දැක්වේ.

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ඇති බලය එවැනි පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගත යුතු නැති අතර, එවැන්නක් සිදු කිරීම මඟින් නීතියේ ආධිපත්‍යය බිඳවැටීමට හේතුවන බවත් එමඟින් නීතිමය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳවැටෙන බවත් මෙම නඩු තීන්දුව මඟින් පෙන්වා දී තිබිණ.

බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ දෙකක් ආනයනය කිරීම සඳහා ඇති කර ගත් මූල්‍ය එකඟතාවක් අනුව පෙත්සම්කරු කටයුතු නොකළ බවට සවීන් චතුරංග නැමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2018 වසරේ ජූලි මස 01 වැනිදා කළ පැමිණිල්ලක් මත පෙත්සම්කරු 2019 පෙබරවාරි මස 01 වැනිදා අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

අනතුරුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 8ක කාලයක් සඳහා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

වගඋත්තරකාර සවීන් චතුරංග විසින් අසත්‍ය පැමිණිල්ලක් කළ බවට එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකළ මෙම පෙත්සම් විභාගයේදී තහවුරු වූ බව මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.

පැමිණිල්ල පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමකින් තොරව අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බවට විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දෙන ලදි.

පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට ලබා දී ඇති බලය එලෙස අත්තනෝමතිකව භාවිත කළ නොහැකි බවද අදාළ නඩු තීන්දුව මඟින් පෙන්වා දී තිබේ.

මෙම පැමිණිල්ල ගොනුකර මාස 5ක කාලයක් ගෙවීමෙන් අනතුරුව පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් කටයුතු කර ඇති බව විනිසුරු මඬුල්ල විසින් පෙන්වා දෙන ලදි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් ඔවුන්ට තිබූ බව ද එහි සඳහන් වේ.

එහෙත් කරුණුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම මඟින් නීතිය හමුවේ සමාන ලෙස සැලකීමට පුද්ගලයකුට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට විනිසුරු මඬුල්ල විසින් තීන්දු කර ඇත.

එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 13 (2) යන වගන්ති මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට විනිසුරු මඬුල්ල විසින් තීරණය කර තිබේ.

ඒ අනුව එම ක්‍රියාවලිය වෙනුවෙන් වන්දි කිරීමට මෙම නිලධාරීන්ට නියම කරන බවට නඩු තීන්දු මෙහි සඳහන් වේ.

නීතිඥ සේනානී දයාරත්න මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනිල් පුංචිහේවා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT