Home » තිරසර සංවර්ධනයේ තීරණාත්මක ඉලක්කවලින් තවමත් 30%ක් සපුරාගෙන නෑ

තිරසර සංවර්ධනයේ තීරණාත්මක ඉලක්කවලින් තවමත් 30%ක් සපුරාගෙන නෑ

තිරසර සංවර්ධන ඉලක්ක: 2023 සමුළුවේදී ජනපති කියයි

by mahesh
September 22, 2023 1:00 am 0 comment

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ගෝලීය ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි අතර, ඊට අදාළව පෙන්නුම් කරන්නේ 12%ක ප්‍රගතියක් පමණක් බවත් අනෙකුත් තීරණාත්මක ඉලක්කවලින් 30%ක් තවමත් සපුරාගෙන නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව පසුගියදා (19) ආරම්භ කෙරුණු තිරසර සංවර්ධන ඉලක්ක ගැන 2023 සමුළුව අමතමිනි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් 2015දී සම්මත කර ගන්නා ලද තිරසර සංවර්ධන ඉලක්ක 17ක් ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ පසුබිම ගැන මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම වසරේම COP21හි රටවල් 196ක් විසින් සම්මත කරගන්නා ලද පැරිස් ගිවිසුම තවත් සුවිශේෂී ගෝලීය මුලපිරීමක් බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට අප කැප වී සිටියද සම්පත්වල මතුව ඇති දැඩි හිඟය ඊට බාධාවක් වී තිබෙනවා.

එසේම 2020දී මුහුණ දීමට සිදු වූ ගෝලීය වසංගත අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වීම තවදුරටත් පසුබෑමට ලක් කර තිබෙනවා. ඒ නිසා සීමිතව පැවති සම්පත් තවදුරටත් සීමිත වුණා.

වසංගත තත්ත්වයෙන් පෙර පැවති ගෝලීය ණය අර්බුදය තවදුරටත් උග්‍ර කළ අතර, එම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් බංකොලොත්භාවයට ඇද දැමුවා.

දැන් මතුව ඇති ප්‍රශ්නය වත්මන් තත්ත්වය තුළ තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර හැකිද යන්නයි.

ශ්‍රී ලංකාව උදාහරණයක් ලෙස ගත්තොත්, 2019දී මේ ඉලක්ක සපුරා ගැනීමට අපගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 9%ක් ආයෝජනය කිරීම ප්‍රමාණවත් වනු ඇතැයි අප ඇස්තමේන්තු කර තිබුණා.

කොවිඩ් හමුවේ වූ ආර්ථික බිඳ වැටීම හා අනතුරුව මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බුදය මේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මහත් බාධාවක් වූ බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම 2030ට පෙර ක්‍රියාත්මක කිරීමට අමෙරිකානු ඩොලර් බිලියන 26.5ක සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍යයි. එය සපුරා ගැනීම ද විශාල අභියෝගයක්.

මේ දරුණු ආර්ථික ගැටලුකාරී තත්ත්වයට ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවේ සහ අප්‍රිකානු බොහෝ රටවලට ද මුහුණ දීමට සිදු වී තිබෙනවා.

බංකොලොත්භාවයෙන් මිදීමට සමත් රටවල් පවා මේ අර්බුදය හමුවේ දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙමින් සිටිනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට 2030 වන විට ඩොලර් ට්‍රිලියන 5.9ක මූල්‍ය සම්පාදනයක් අවශ්‍ය බව G20 සමුළුව මෑතකාලීනව පෙන්වා දී තිබෙනවා.

මීට අමතරව, 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය සාක්ෂාත් කර ගැනීමට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට පිවිසීමට ඩොලර් ට්‍රිලියන 4ක වාර්ෂික ආයෝජනයක් අවශ්‍යයි.

බොහෝ ජාතීන්ට බලපා ඇති පෙර නොවූ විරූ මූල්‍ය ව්‍යසනය හමුවේ මේ ඉලක්ක සපුරාගත හැකිද යන්න පිළිබඳ විවේචනාත්මක පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. නව ගෝලීය මූල්‍ය පනත සඳහා වූ පැරිස් සමුළුව මූල්‍ය අභියෝගවලට මුහුණ දීමේ සහතිකයක් වනු ඇති බවත් මම විශ්වාස කරනවා.

කෙසේ වෙතත්, ගෝලීය මූල්‍යකරණයේ මේ සංකීර්ණ සහ භයංකර තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග ජය ගැනීමට මේ තීරණාත්මක ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කිරීමට කැමතියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT