ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කටයුතුවලට රුපියල් කෝටි 620ක මුදලක් (අමෙරිකානු ඩොලර් මිලියන 19.2) ලබා දීමට අමෙරිකා එක්සත් ජනපද රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවට තවදුරටත් සංවර්ධනය සඳහා සහාය වීමට අමතර අරමුදල් ලෙස මේ මුදල ලබා දීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් සංවර්ධන අභිප්‍රාය ප්‍රදාන ගිවිසුමක් හරහා මේ අමෙරිකානු ඩොලර් මිලියන 19.23 ක (රුපියල් බිලියන 6.2) මුදල ලබා දීමට එකඟ වී තිබේ.
මේ සංවර්ධන ආධාර මුදල රටේ ආර්ථික වර්ධනයට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාකාරකම් සඳහා උපකාර කරන අතර එමඟින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාව සමඟින් ඇති හවුල්කාරීත්වයට සහ ජනතාව අතර කල්පවත්නා සබඳතා ගොඩනැංවීමට එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීම බවද එම තානාපති කාර්යාලය පෙන්වා දෙයි. USAID දූත මණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රෞ සහ මුදල් අමාත්‍යාංශයේ, භාණ්ඩාගාර ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහත්වරු සහභාගි වූ උත්සවයක දී පෙරේදා (20) මේ ගිවිසුම අත්සන් තැබීය. “USAID පරිපාලක සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝක් නගරයේ දී සාකච්ඡා කළාක් මෙන්, ශ්‍රී ලංකාව සමඟ ඇති හවුල්කාරීත්වයට එක්සත් ජනපදයේ ඇති අඛණ්ඩ කැපවීම සහ අවස්ථාවලින් සපිරුණු මේ රටේ ජනතාවට අප ලබා දෙන නොවෙනස් සහයෝගය පෙන්නුම් කරනවා,” යනුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින්හි USAID දූත මණ්ඩල ප්‍රධානී ගේබ්‍රියෙල් ග්‍රෞ මහතා සඳහන් කළේය.
“මේ අරමුදල් සමඟ අපි දිගින් දිගටම ශ්‍රී ලංකා රජය සමඟ වැඩ කරමින් රටේ ආර්ථික වර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වැඩි දියුණු කිරීමටත් අවදානමට ලක්විය හැකි ජනතාව වෙනුවෙන් හඬ නැඟීමටත් කටයුතු කරනවා” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “එක්සත් ජනපද රජයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන මේ සමීප සහයෝගිතාව සහ හිතවත් හවුල්කාරීත්වයත් උපකාරත් ශ්‍රී ලාංකික ජනතාව අගය කරනවා,” යනුවෙන් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේය. “මේ ප්‍රදානය ප්‍රජාතන්ත්‍රවාදී, සෞභාග්‍යවත් සහ ඔරොත්තු දෙනසුලු ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට රජයෙන් දරන උත්සාහය තවත් ශක්තිමත් කරාවි” යැයි වැඩිදුරටත් පැවසීය. 1956 සිට එක්සත් ජනපදය ඇ. ඩොලර් බිලියන 2 (රු. බිලියන 720ට ආසන්න මුදලක්) ඉක්මවන ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.