Home » අක්කර 125ක මුඩුබිම් වනාන්තර කිරීමේ වැඩපිළිවෙළක්

අක්කර 125ක මුඩුබිම් වනාන්තර කිරීමේ වැඩපිළිවෙළක්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

අක්කර 125ක මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව මේ සඳහා රුපියල් ලක්ෂ 500ක් ආයෝජනය කරයි.

ස්වභාවික පුනර්ජනනය වේගවත් කිරීම අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මේ වැඩපිළිවෙළෙහි එක් පියවරක් පුත්තලම දිස්ත්‍රික්කයේ වීරක්කොඩිචෝලේ රක්ෂිතයේදී ආරම්භ කෙරෙන අතර, ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා (19) අත්සන් තැබිණි.

මේ ගිවිසුමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු පාර්ශ්වය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා අත්සන් කළ අතර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් වන සංරක්ෂණ ජනරාල් ආචාර්ය කේ. එච්. ඒ. බණ්ඩාර මහතා අත්සන් තැබීය.

මේ යටතේ දේශීය පැළ වර්ග 35,000ක් පමණ මේ වර්ෂයේ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී සිටුවීමට සැලසුම් කර ඇත. එහිදී කුඹුක්, මී, කරඳ, ඇහැළ, දං, තිඹිරි, දිවුල්, මයිල, කොහොඹ, වීර සහ පලු ඇතුළු ශාක නැවත වගා කෙරේ.

මෙහිදී අදහස් දක්වමින් ඇමැතිවරිය මෙලෙස පැවැසුවාය.

“මේ වන විට අප රටේ වනාන්තර තිබෙන්නේ සමස්ත භුමියෙන් 30%ක් පමණයි. එය 2030 වන විට එය 32%ක් දක්වා වැඩි කළ යුතුයි. ප්‍රතිපත්තිමය වශයෙන් ව්‍යාපෘතියක් විදිහට වනාන්තර ඇති කිරීමට මෙවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට ලැබීම මගේ ජීවිතයේ ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමේ කාරණය නිසා ලෝකයම බියට පත්වී තිබෙනවා. අපේ සම්පූර්ණ වගකීම ගහකොළ වැවීම. ඒ වගේම කාබන් විමෝචනය අඩු කිරීම වෙනුවෙන් අපි වෙහෙස විය යුතුයි. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙහෙසීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්, වන සංරක්ෂණ ජනරාල්, අතිරේක වන සංරක්ෂණ ජනරාල් නිශාන්ත එදිරිසිංහ මහතා සහ වන සංරක්ෂණ නිලධාරීන්ට ස්තූතිවන්ත විය යුතුයි.”

ඔලිම්පික් කමිටු ප්‍රධාන ලේකම් මැක්වෙල් ද සිල්වා මහතා

“අවුරුදු 03කට පෙර සිටම ‘ඔලිම්පික් ෆොරස්ට්’ සංකල්පය අපේ කමිටුව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවත් සමඟ සාකච්ඡා කළා. නමුත් එය ඉදිරියට කරගෙන යන්නට යම් යම් බාධා ඇති වුණා. නමුත් අද දවසේ ජාතික ඔලිම්පික් කමිටුව වශයෙන් ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මඟපෙන්වීම මත මේ ගිවිසුම අත්සන් තැබීමට හැකිවීම සම්බන්ධයෙන් අපි ඉතාමත් ආඩම්බර වෙනවා. මෙය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයත් ඇතිව කරන්නට ලැබීම අපි ලැබූ ඉතාම භාග්‍යයක්. මෙවැනි ව්‍යාපෘතියක් කරන්නට බොහෝ රටවලට හැකියාව ලැබී නෑ. මෙවැනි අලුත් සංකල්පයක් මෙරට බිහිකිරීම සතුටට කරුණක් . මේ සම්බන්ධයෙන් වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැතිතුමියට ස්තූතිවන්ත වෙනවා.”

එම අවස්ථාවට වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රා හේරත්, වන සංරක්ෂක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත එදිරිසිංහ, වන සංරක්ෂක කේ. ඒ. ඩී. යූ. අයි. කලංසූරිය. ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති සුරංජිත් ප්‍රේමදාස, එම කමිටුවේ භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT