Home » මෙවර ලෝක ධීවර දින සැමරුම් උත්සවය යාපනයේදී

මෙවර ලෝක ධීවර දින සැමරුම් උත්සවය යාපනයේදී

by mahesh
September 22, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

නොවැම්බර් මස 21 වැනි දිනට යෙදී ඇති ලෝක ධීවර දිනය නිමිත්තෙන් පවත්වන සැමරුම් උත්සවය යාපනයේදී පැවැත්වීමට ධීවර අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ යෝජනාවක් පරිදි මේ උත්සවය යාපනය හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ධීවර ඇමැතිවරයාගේ සහ ධීවර රාජ්‍ය ඇමැතිවරයාගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. මීට සමගාමීව නොවැම්බර් මස 15 වැනි දින දක්වා ධීවර ගැටලු විසඳීමට ජංගම සේවාවක් ඇතුළු තවත් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට ධීවර අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ජලජීවී වගාවේ නියැළෙන පිරිසට මූල්‍ය ආධාර දීමට වැඩපිළිවෙළක් ද, නාරා ආයතනයෙන් සිදු කරන සාගර පර්යේෂණ කටයුතු හා ජලජීවී පර්යේෂණ කටයුතු පිළිබඳව ධීවරයන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ කිහිපයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධීවර වරාය සංස්ථාවෙන් ධීවරයන්ට වෛද්‍ය සායනයක් ද, ධීවර වරායවල සේවකයන් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ද, ධීවර කාන්තාවන්ට ඉතිරි කිරීම පිළිබඳ සම්මන්ත්‍රණ මාලාවක් ද පැවැත්වීමට තීරණය කර ඇති බව ධීවර රාජ්‍ය ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයේ පැවති මූලික සාකච්ඡාවකදී පැවැසීය.

මේ අවස්ථාවට ධීවර අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක, අතිරේක ලේකම් අනුෂා ගෝකුල මහත්මීන් ඇතුළු උසස් නිලධාරීහු එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT