ඉන්දියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිත පිරිස ජාත්‍යන්තර සහයෝගීතා අධ්‍යයන චාරිකාවකට නවදිල්ලි නුවරට පැමිණ සිටින අතර, එහිදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හමු වූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින්, අනාගත සහයෝගීතාව ඇති කර ගත හැක්කේ කෙසේ ද යන්න මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබේ. ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් විසින් ඉන්දියාව සහ ඉන්දියන් සාගර ගතිකත්වය අවබෝධ කරගැනීමේ වැදගත්කම මහ කොමසාරිස්වරයා විසින් මෙහිදී අවධාරණය කර ඇත.
උපාය මාර්ගික යෙදවුම් හරහා රටේ අනාගත ප්‍රගතියට දායක වන ආරක්ෂක හමුදාවන්ගේ වැදගත්කම අවධාරණය කළ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, අනාගත ශ්‍රී ලංකා හමුදා නායකයන් හැඩගැස්වීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට මේ සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව ද ප්‍රකාශ කළේය.
මේ නියෝජිත පිරිස බ්‍රිගේඩියර්, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ කාර්ය මණ්ඩලය (යුද හමුදාව) විසින් මෙහෙය වන ලද අතර, ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසි හය දෙනකුගෙන් සමන්විත වූ බව ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියයි.