ජාතික රූපවාහිනිය මඟින් සෑම සිකුරාදාවකම ගෙන එන සිනෙ ඡායා තුළින් මෙවර ගෙන එනු ලබන චිත්‍රපටය වන්නේ ‘නාරිලතා’යි. තිස්ස ලියනසූරිය විසින් අධ්‍යක්ෂණය කළ නාරිලතා චිත්‍රපටය 1969 මාර්තු 22 වනදා තිරගත වූයේ ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ 192 වන චිත්‍රපටය ලෙසිනි. මි.මී.35 ප්‍රමාණයේ කළු සුදු චිත්‍රපටයක් වන නාරිලතාහි ප්‍රධාන නළුවා ලෙසින් සම්බන්ධ වූයේ ටෝනි රණසිංහය. තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ නාරිලතා චිත්‍රපටයේ මුල් නම ලෙසින් සඳහන් වූයේ පහන්තරුවයි. එය නිෂ්පාදනය කරනු ලැබුවේ එල්.ඒ. දාවිත් සිංඤෝ විසිනි. එහෙත් පසුව තිස්ස ලියනසූරියට චිත්‍රපටයේ වැඩ කටයුතු පැවරීමත් සමඟ ඔහු විසින් එය නාරිලතා වශයෙන් නම් කළ අතර, මුල් නිෂ්පාදනයේ සිටි බහුතරයක් දෙනා එයින් ඉවත් කළ ඔහු තම නිර්මාණය වෙනුවෙන් සම්බන්ධ කරගනු ලැබුවේ දෙදෙනෙකු පමණි. ඒ දෙදෙනා වූයේ සන්ධ්‍යා කුමාරි සහ සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රේමසිරි කේමදාස පමණි.
චිත්‍රපටයට හේතු පාදක වූයේ තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් පවුල් ජීවිතයත් අර්බුදයකට ලක්වන කතා තේමාවකි. තහනම් ගසක ඵලය අන් හැමටත් වඩා රසය, යසය. සිතෙන්නේ එහෙමය. එහෙත් එහි රස විඳීමට ගත් පසු එයින් වන හානිය, තම ජීවිතය පුරා ඔඩුදුවා හමාර බව දැනෙන්නේ පසුවය. දරුවකු සමඟ යහපත් පවුල් ජීවිතයක් ගත කරනා දුම්රිය නියාමකවරයකු වූ රංජිත් ද බිරිය හා තම දරුවා අමතක කර දමා තහනම් ප්‍රේමයක වෙළෙන්නට පටන් ගත්තේ මෙවන් කාලයකය. ඔහු තම නැවුම් ප්‍රේමය ලෙසින් වැලඳ ගත්තේ සමාජ ශාලාවක නළඟනක් වූ දේවිකාය. මේ ප්‍රේමය රහසේම ගලා ගියද ඒ පිළිබඳව තොරතුරු දන්නා තවත් දෙදෙනෙක් සිටියහ. ඒ අන් කිසිවකුත් නොව රංජිත් සමඟම සේවය කරනා දුම්රියේ රියැදුරු සහ තවත් සේවකයෙකි.
රංජිත්ගේ අලුත් ප්‍රේමය කවරාකාරයෙන් ගලා ගියාද කියහොත්, තම දරුවා පවා අමතක කර දමා ඔහුගේ අලුත් ප්‍රේමවන්තිය අංක එකේ තබා කටයුතු කරන්නට තරම් ඔහු පෙලඹුණේය. මේ සියල්ල විඳ දරා ගන්නා රංජිත්ගේ බිරිය අවසානයේදී තීරණයකට එළඹෙන්නේ දුම්රියටම පැන ජීවිතය හානි කරගැනීමටයි. එහෙත් ඇයගේ උත්සාහය ද ව්‍යර්ථ වී යන්නේ රංජිත්ගේ මිතුරන් දෙදෙනා විසින්ම ඇයව බේරාගැනීමට ඉදිරිපත් වීම නිසාය. එහෙත් ඔවුන් දෙදෙනා එයින්ද නොනැවතී තම මිත්‍රයා වූ රංජිත්ගේ පවුල් ආරවුලට ඍජුවම මැදිහත් වීම අරඹයි.
එය කවරාකාරයෙන් සිදු වී චිත්‍රපටයේ නිමාව සිදුවන්නේ කෙසේද? ඔව්, ඔබට මේ පිළිබඳව රූප රාමුවෙන් රාමුව දැකගැනීමට ඉඩහසර සැරසෙන්නේ අද ජාතික රූපවාහිනියෙන් විකාශය වන සිනෙ ඡායාහි ‘නාරිලතා’ චිත්‍රපටයෙනි. පුද්ගල මිනීමැරුමක්, සිරගත වීමක් හා දේවිකා සේවය කරන සමාජ ශාලාවේ හිමිකරු ද මේ සඳහා අත දැමීම චිත්‍රපටය තුළදී ඔබට දැක ගත හැකි වනු ඇත. 1969 තිරගත වූ මෙම චිත්‍රපටයේ මියුරු ගීත කිහිපයක් පවතින අතර එහි වඩාත් ජනප්‍රිය වූයේ,
ලස්සන තාලෙට
තිස්සෙම ගැවසෙන
යන විට ගමන අගේ
ලිස්සන පීල්ලෙ
කැරකෙන රෝදේ
දුටුවම පුදුම හිතේ
ගීතයයි. මෙම ගීතය රචනා කරනු ලැබුවේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ වන අතර, ගායනය වික්ටර් රත්නායක ඇතුළු පිරිසය. මීට අමතරව තවත් ගීත තුනක් චිත්‍රපටයේ අන්තර්ගත අතර දොයි දොයි බිලිඳා (නන්දා මාලනී) අවරගිරෙන් (ලතා වල්පොළ) සහ රංචු රංචු අත්වැල් බැඳ (සුජාතා අත්තනායක, ශාන්ති ගීත දේව) එම ගීතයි.
මෙහි කතාව ධර්මසිරි ගමගේ ගේ වන අතර, කැමරාකරණය ඩබ්.ඒ.බී.ඩී. සිල්වාගේය. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රේමසිරි කේමදාසයන්ගේය.
මෙම චිත්‍රපටය සම්මාන කිහිපයකින්ම පැසසුම් ලැබූ අතර, 1970 සරසවි සම්මාන උළෙලේදී හොඳම දෙවන චිත්‍රපටය මෙන්ම හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංස්කරණය සඳහා ද සම්මාන ලබා ගන්නා විට හොඳම කැමරා ශිල්පියාට මෙන්ම හොඳම ගායිකාවට හිමි සම්මානය දිනාගැනීමටද සමත්විය.
චිත්‍රපටයේ චරිත නිරූපණය කරනු ලැබුවේ ටෝනි රණසිංහ, සන්ධ්‍යා කුමාරි, අනුලා කරුණාතිලක, ජෝ අබේවික්‍රම, කිත්සිරි පෙරේරා, දයානන්ද ජයවර්ධන, ජෝ දඹුලුගල සහ බේබි රියාසාය.
චිත්‍රපටයට නැරඹීමට පෙර සෑම සතියක මෙන්ම ගාමිණී වේරගම සහ රොහාන් වෙත්තසිංහ සමඟ සෙනේෂ් දිසානායක පවත්වනු ලබන චිත්‍රපටයේ විචාරය ද ඔබට නැරඹිය හැකිය.