Home » වෛද්‍යවරුන් රට හැර යාම අතිශයෝක්තියට නැඟූ මිථ්‍යාව

වෛද්‍යවරුන් රට හැර යාම අතිශයෝක්තියට නැඟූ මිථ්‍යාව

by mahesh
September 22, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාව 1970 දශකයේ සිට යුරෝපය, උතුරු අ‌ෙමරිකාව, ඔස්ට්‍රේලියාව හා මැද පෙරදිග කලාපයට උපාධිධාරීන් නිෂ්පාදනය කරන ප්‍රමුඛ රාජ්‍යයකි. 1971 කැරැල්ලෙන් පසුව ද, 1983 ජූලි කලබලය හා 1987 – 89 ඝාතන රැල්ල මෙම තත්ත්වය වඩාත් තීව්‍ර කළේය. වැඩි වැටුප්, උසස් රැකියා අවස්ථාවන්, වැඩිදුර අධ්‍යාපනය, දරුවන්ගේ අධ්‍යාපනය හා ආයතන ප්‍රධානීන්ගේ ගැටලු උගතුන් විදේශගත වීමට මූලික ලෙස බලපානු ලබයි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් සහ ඉල්ලුමක් ඇති තවත් ක්ෂේත්‍රයන් ගණනාවක උපාධිධාරීන් 1970 දශකයේ සිට අඛණ්ඩව විදේශගත වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ, 2022 ජුනි 1 සිට 2023 මැයි 31 දක්වා විශේෂඥ වෛද්‍යවරුන් 274 ක් සේවයෙන් ඉල්ලා අස්වී රටින් පිටවී ගොස් ඇති බවයි. මෙම ප්‍රකාශය පට්ටපල් බොරුවකි. සත්‍යය නම්, 2021 සිට 2023 මේ දක්වා කාල සීමාව තුළ සාමාන්‍ය ක්‍රමවේදය සහ රා. ප. ච අංක 14/2022 යටතේ වැටුප් රහිත විදේශීය හා දේශීය නිවාඩු ලැබූ, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ස්ථිර ලෙස සේවයෙන් නිදහස් කළ සහ වැටුප් රහිත නිවාඩු ලබා නැවත සේවයට වාර්තා නොකළ යන කාණ්ඩයන්ට අයත් සංඛ්‍යාව 289 ක් වන බවයි. සරලවම වසර තුනක නිවාඩු ලබා ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව, තනි වසරක් තුළ රට හැර ගොස් ඇති බවට ඔවුන් ගජබින්නයක් දෙසයි.

විශේෂඥ වෛද්‍යවරු

2021 සිට 2023 අගෝස්තු දක්වා වැටුප් රහිත නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 50 කි. 2023 අගෝස්තු මස දක්වා 14 ක්ද, 2022 වසරේ 29 ක් ද, 2021 දී 07 ක් සේවය හැර ගොස් ඇත. ආයතන සංග්‍රහයට අනුව සෑම රාජ්‍ය සේවකයෙකුටම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ට ද වැටුප් රහිතව විදේශගත වීමේ අවස්ථාව හිමිව ඇත. මේ පිරිස අතරින් බහුතරයක් නැවත රටට පැමිණේ.

විශේෂඥ වෛද්‍යවරුන් 25 දෙනෙකු පමණ ඔවුන්ගේ විශේෂඥතාවය පසෙකලා රජයේ සහ වෙනත් පරිපාලන තනතුරු දරති. රෝගීන්ට ප්‍රතිකාර කිරීම විනා පරිපාලන තනතුරු සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පත් කිරීම වහා නැවැත්විය යුතුය.

වෛද්‍ය චමිල් විජේසිංහ මහතාගේ ප්‍රකාශයට අනුව, ශ්‍රේණි වෛද්‍යවරුන් 842 දෙනෙකු (ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්) සේවයෙන් ඉවත්ව විදෙස් ගතව ඇත. මෙයද පට්ටපල් බොරුවකි. සත්‍යය නම්, පසුගිය වසර 3ටම සේවයෙන් ස්ථිරව ඉවත්වී හෝ ඉවත් කර ඇති සංඛ්‍යාව 586 කි. වසර 3ක කාල සීමාව තුළ ඉවත්වූ සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් එක් වසරක් තුළ ඉවත්වූ බව යමෙකු ප්‍රකාශ කරන්නේ නම් එය ගජබින්නයකි.!

වෛද්‍ය නිලධාරීන්

2021 සිට 2023 මේ දක්වා සේවය හැර ගොස් ඇති වෛද්‍ය නිලධාරීන්ගේ සැබෑ සංඛ්‍යාව 437කි. ඉල්ලා අස්වීම ලබා දී ඇති වෛද්‍ය නිලධාරීන් ගණන 149කි. ආයතන සංග්‍රහයේ දැක්වෙන ක්‍රමවේදය හා රා. ප. ච අංක 14/2022 යටතේ 934 ක් (වසර 3 එකතුව) වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ඇත. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉදිරිපත් කරන සංඛ්‍යා වසර තුනක එකතුවටත් වඩා වැඩි බව මේ අනුව පැහැදිලිය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාගත් දත්ත අනුව ඔවුන් තම ප්‍රකාශ සිදු කරන බව පවසයි. 2023 අගෝස්තු 03 දින වෛද්‍ය ජී. විජේසූරිය මහතා විසින් ලබා දී ඇති දත්ත අනුව, 2022 ජූනි 1 සිට 2023 මැයි 31 දක්වා සේවය අතහැර ගිය ශ්‍රේණි වෛද්‍යවරුන් පිරිස 197 ක් බව ද, ඉල්ලා අස්වී ඇති වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 109 ක් බව ද ඉතා පැහැදිලිව දක්වා ඇත. වෛද්‍යවරුන් දහස් ගණනක් වසරක් තුළ රට හැර ගොස් ඇති බව පාර්ලිමේන්තු විවාදයක දී විපක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා ද ප්‍රකාශ කර තිබුණි. විධිමත් අයුරින් නිවාඩු ලබා විදේශගත වී ඇති සියලු දෙනා රට හැර ගිය වෛද්‍යවරු ගණයට දමා මේ අය තම සංඛ්‍යා අතිශයෝක්තියෙන් දක්වති.

දන්ත ශෛල්‍ය වෛද්‍ය නිලධාරීන්

දන්ත ශෛල්‍ය වෛද්‍යවරුන් 21දෙනෙකු පසුගිය වසර 3 තුළ සේවය හැර ගොස් ඇත. ඉල්ලා අස්වූ සංඛ්‍යාව 12 කි. විධිමත් ආකාරයට වැටුප් රහිත නිවාඩු ලබා තවත් දන්ත වෛද්‍යවරු 39 දෙනෙකු විදේශගත වී ඇත.

හෙද නිලධාරීන්

මේ වන විට හෙද නිලධාරීන්ගේ අනුමත සේවක සංඛ්‍යාව 45,367 කි. එයින් සේවයේ නිරත පිරිස 42,253 කි. 2021 සිට 2023.08.31 කාල සීමාව තුළ හෙද නිලධාරීන් 557 දෙනෙකු වෙත සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර ඇත. හෙද නිලධාරීන් 05 දෙනෙකු ඉල්ලා අස්වී වී ඇත. විධිමත් ක්‍රමවේදයක් යටතේ හෙද නිලධාරීන් 434 දෙනෙකු වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ඇත.

අනෙකුත් නිලධාරීන්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන්ගේ තත්ත්වය ද මෙයට සමාන්තරය. පසුගිය වසර 3 තුළ ඉල්ලා අස්වීම් 20 ක් ද, සේවය හැරයාම් 54 ක් ද වේ. වැටුප් රහිත විධිමත් විදේශ නිවාඩු ලබා ඇති සංඛ්‍යාව 71 කි. මාස 6 කට වැඩි කාලයකට නිවාඩු ලබා විදේශගත වී ඇති සමස්ත සේවක සංඛ්‍යාව 43 ක් වන අතර 2023 වසරේ අගෝස්තු මස අවසානය දක්වා කාලය තුළ සමස්ත සංඛ්‍යාවෙන් 15 දෙනෙකු විදේශගතව ඇත.

මෙයින් කියවෙන්නේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් හිඟයක් නොමැති බව නම් නොවේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමත කාර්ය මණ්ඩලය 2,851 ක් වන විට සේවයේ සිටින්නේ 2,574දෙනෙකි (90.3%). වෛද්‍ය නිලධාරීන් 22,535 ක් සිටිය යුතු තැන සිටින්නේ 20,907 (92.8%) කි. දන්ත වෛද්‍යවරු 1,769 ක් සිටිය යුතු තැන 1,585 (89.6%) ක් සේවයේ සිටිති. පැහැදිලි ලෙසම සෞඛ්‍ය කේෂ්ත්‍ර යේ 10% ක තනතුරු පුරප්පාඩු තිබේ. නමුත්, තොග පිටින් රට හැරයාම නම් පැහැදිලි අසත්‍යයකි.

සැබෑ ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩිම පුරප්පාඩු සංඛ්‍යාව ඇත්තේ සම සෞඛ්‍ය සේවාවන්වලය. විකිරණ ශිල්පීන් 1,103ක් සිටිය යුතු නමුත්, සිටින්නේ 694 (62.9%) කි. ශ්‍රවණවේදීන් 58 ක් සිටිය යුතු නමුත් සේවයේ නිරත වන්නේ 35 (60%) කි. ඖෂධවේදීන් 2,306 ක් සිටිය යුතු නමුත් සිටින්නේ 2,022 (87.7%) කි. මෙය වහා පිළිතුරු සොයා ගත යුතු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැබෑ අර්බුදයයි.

1971 කැරැල්ලෙන් පසුව 1972, 1973 හා 1974 වර්ෂවල මෙරටින් බිහි වූ වෛද්‍ය උපාධිධාරීන්ගෙන් පිළිවෙළින් 37%,36%, හා 45% ක ප්‍රමාණයක් එංගලන්තයට සංක්‍රමණය වී එහි ස්ථිර පදිංචියට ගොස් තිබේ. 1971 දී මෙරටින් බිහි වූ ඉංජිනේරුවන් 165 න් 75 ක් ම එංගලන්තයට සංක්‍රමණය විය. (මූලාශ්‍රය: අන්ක්ටාඩ් සඳහා කොළඹ මාර්ග ආයතනය විසින් පිළියෙල කරන ලද අධ්‍යයනයක්. විද්‍යාඥයින් රට හැර යාම – වී. කේ. සමරනායක ලිපිය) අද රටේ වෛද්‍යවරුන් විදේශගතවීමේ දී එවැනි ප්‍රවණතාවයක් නැත. 1980 හා 2009 දශක තුන තුළ මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 11% ක් ස්ථිර ලෙස විදේශගත වී ඇත.

විදේශීය අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය සඳහා වසරක කාල සීමාවක් සඳහා විදේශ ගත වන වෛද්‍යවරුන් වසර 4ක් ද, වසර 2ක කාල සීමාවක් සඳහා විදේශගත වන වෛද්‍යවරුන් වසර 8ක් ද, මෙරට සේවයේ යෙදිය යුතුය. 2022 ජනවාරි සිට මේ දක්වා පශ්චාත් උපාධි අධ්‍යයනයන් සඳහා විදේශ ගත වූ වෛද්‍යවරුන් 343 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇත. නමුත්, ඉන් 110 ක් පමණ සේවා කොන්දේසි කඩ කර සේවයට වාර්තා කර නැත.

වාර්ෂිකව රාජ්‍ය වෛද්‍ය විද්‍යාල මඟින් නව වෛද්‍යවරුන් 2,000 ක් පමණ බිහි වේ. 2020 සිට 2022 කාලසීමාව තුළ විදේශ රටවල අධ්‍යාපනය අවසන් කර පැමිණි වෛද්‍ය උපාධිධාරීන් 1,239 දෙනෙකු වෛද්‍ය සභාව මඟින් පවත්වන පරීක්ෂණයෙන් සමත්ව මෙරට වෛද්‍ය වෘත්තියේ නිරත වීමටඅවස්ථාව හිමිකර ගෙන තිබේ.

2023 වසරේදී ද නවක වෛද්‍යවරුන් 600 ක් පමණ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටී. 2020 සිට 2022 දක්වා විදේශයන්හි අධ්‍යාපනය සම්පූර්ණ කළ වෛද්‍යවරුන් පිළිවෙළින් 421,229 සහ 589 දෙනෙකුට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය හිමි වී ඇත.

සැබෑ ගැටලු

වෛද්‍ය හිඟයට පමණක් නොව, වෛද්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් වෘත්තීන්ගේ හිඟයට ප්‍රායෝගික විසඳුම් සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය වහා යොමු විය යුතුය.

විශ්‍රාමික වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ වෛද්‍ය සේවයට කඩිනමින් බඳවා ගැනීම දැනට ඇති වෛද්‍ය හිඟයට කෙටි කාලීන විසඳුමකි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වන නවක වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට අත්‍යාවශ්‍යය.

නොදන්වා සේවය අත්හැර යන වෛද්‍යවරුන් අසාදු ලේඛණගත කිරීමට අවශ්‍ය ආයතනික ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දැන්වත් වහා ක්‍රියා කළ යුතුය. තවද විදේශගත වන වෛද්‍යවරුන් වෛද්‍ය වෘත්තියට සරිලන වෘත්තීන්හි පමණක් යෙදීමට දැනටමත් පවතින නීති ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ යුතුය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය හැර යන සහ ගිවිසුම් උල්ලංඝනය කරන නිලධාරීන් සම්බන්ධයෙන් සේවා කොන්දේසි මත වන්දි අය කර ගැනීම සිදු කිරීම අත්‍යාවශ්‍යය.

අද සෞඛ්‍ය ක්ෂේත්‍රය ඖෂධ හිඟය, උපකරණ හිඟය නිසා දැඩි පීඩාවකට පත්ව ඇත. ඒ අතරට වෛද්‍යවරුන් රට හැර යාමේ දත්ත හා සංඛ්‍යා ලේඛන අතිශයෝක්තියට නඟමින් ඉදිරිපත් කරමින් ඇත.

අවාසනාවකට මේ කිසිවකට අදාළ නිවැරදි හා සත්‍ය තොරතුරු ජනතාව අතරට ගෙන යාමට වගකිව යුතු නිලධාරීන් හා දේශපාලන නායකත්වය අසමත් වී ඇත. ඒ නිසාම සෞඛ්‍ය ක්ෂේත්‍රය වසා පවතින සැබෑ ගැටලු යට යමින් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT