Home » දයාසිරිට එරෙහිව මෛත්‍රීගේ චෝදනා පත්‍රයට උසාවියෙන් වාරණයක්

දයාසිරිට එරෙහිව මෛත්‍රීගේ චෝදනා පත්‍රයට උසාවියෙන් වාරණයක්

by mahesh
September 22, 2023 1:00 am 0 comment

රෝෂන් තුෂාර

පක්ෂ විනය කඩ කිරීම සම්බන්ධයෙන් දින දාහතරක් ඇතුළත නිදහසට කරුණු කියන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ දිසා අධිකරණය ඊයේ (21) වාරණ නියෝගයක් නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උප ලේකම් සරත් ඒකනායක මහත්වරුන් විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම වාරණය නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකිරීම් සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව පසුගිය 18 වැනිදා නිකුත් කළ ලිපිය මෙසේ වාරණයට ලක් කෙරිණි.

අදාළ ලිපිය මඟින් ඉදිරිපත් කර ඇති චෝදනා පහට දින දාහතරක් ඇතුළත නිදහසට කරුණු නොකියන්නේ නම් එකී චෝදනාවන්ට වරදකරු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සිරිසේන මහතා සිය ලිපිය මඟින් දැනුම් දී ඇත.

පැමිණිලිකාර ජයසේකර මහතා වෙනුවෙන් එස්.බී. දිසානායක නීතිඥ සමාගමේ උපදෙස් පරිදි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ඉක්ක්‍රාම් මොහොමඩ් මහතා කියා සිටියේ අදාළ ලිපිය නීතිය ඉදිරියේ බල සූන්‍ය අනීතික ලිපියක් බවය.

ලිපියේ සඳහන් කරුණු හා චෝදනා මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම නීති විරෝධී බව ද සඳහන් කළේය.

2023 පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දීමේදී ඇප මුදල් තැන්පත් කිරීම පක්ෂ දේශපාලන බල මණ්ඩලයේ අනුමැතියකින් තොරව සිදු කිරීම, එකී ඇප මුදල් තැන්පත් කළ නිදහස් ජනතා සන්ධානයට පක්ෂ කාර්යාලයේ ලිපිනය අනුමැතියකින් තොරව ලබාදීම, පක්ෂයේ සංවිධායකයන්ට පරුෂ වචනයෙන් බැණ වැදීම, පක්ෂ ලේකම්වරයා ලෙස සිය වගකීම් ඉටු නොකිරීම හා නායකත්වය විවේචනය කිරීම යන චෝදනා එල්ල කිරීමෙන් මෙම ලිපිය නිකුත් කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ඒකපාර්ශ්විකව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අදාළ වාරණ නියෝගය ලබන පස්වැනි දින දක්වා නිකුත් කළ අතර, එදින අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ විනුර ජයවර්ධන මහතා සමඟ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා ද පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT