Sunday, April 20, 2025
Home » ඇමැති බන්දුලගෙන් වරප්‍රසාද කමිටුවට පැමිණිලි
අපහාසාත්මක කතා විකාශය කළ ටී.වී.-රේඩියෝ නාළිකා දෙකකට එරෙහිව

ඇමැති බන්දුලගෙන් වරප්‍රසාද කමිටුවට පැමිණිලි

by mahesh
September 22, 2023 1:00 am 0 comment

වෙබ් අඩවියක් ගැනත් පැමිණිල්ලක්

මට එරෙහිව වෛරී සහගත, අපහාසාත්මක, අසත්‍ය ප්‍රකාශයන් ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සොයා බලා උපරිම දඬුවම් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සිදුවීම වරප්‍රසාද කමිටුවට යොමු කරන ලෙසට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ඉල්ලීමක් කළේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

මම දේශපාලන ජීවිතයේදී වංචා සහගත ලෙස කිසියම් හෝ අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ඔප්පු කර පෙන්වන්නේ නම් දේශපාලන ජීවිතයෙන් සමුගන්නවා. පසුගියදා සිදු කළ දුම්රිය වැඩ වර්ජනය හේතු කර ගනිමින් මට එරෙහිව අසත්‍ය ප්‍රකාශයන් ඇතැම් මාධ්‍ය මඟින් වෛරී සහගත ලෙස ප්‍රචාරය කළා.

පසුගිය දිනයන්හි ඇතැම් මාධ්‍ය ආයතනයන්හි වැඩසටහන් මඟින් මා සම්බන්ධයෙන් අසත්‍ය ද්වේෂ සහගත අපහාසාත්මක වෛරය උද්දීපනය කරන කරුණු රැසක් ප්‍රචාරය කළා. එම දිනයන් හා අදාළ තොරතුරු කිහිපයක් මේ සමඟ දක්වනවා.

2023 මාර්තු 01 වැනිදා යූ ටියුබ් චමුදිත නිව්ස් බ්‍රේක් – දුම්රිය රියැදුරකු වන ඉන්දික දොඩන්ගොඩ සමඟ චමුදිත සමරවික්‍රම මහතා පැවැත් වූ සාකච්ඡාව, එහි නැරඹුම් වාර 59,511ක්.

2023.09.13 වැනිදා හිරු ටීවී පත්තරේ විස්තරේ උදෑසන 6.25ට – මීඩියා ෂෝවලට රැවටිච්ච කාලය ඉවරයි බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, 2023.9.14 වැනිදා හිරු ටීවී පත්තරේ විස්තරේ උදෑසන 6.25 දුම්රිය අනතුරෙන් මිය ගිය සිසුවාට රුපියල් ලක්ෂ 5ක වන්දි පිළිබඳ විවේචන, 2023.09.14 වැනි දා හිරු ප්‍රවෘත්ති 11.55ට ඉන්දික දොඩන්ගොඩ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් මම ටෙන්ඩර් කැඳවීම්වලින් තොරව ඉන්දියානු සමාගම් සමඟ ගනුදෙනු කරමින් විශාල වංචා දූෂණ අක්‍රමිකතා කරලා අමාත්‍යාංශයට පත් වූ දූෂිතම වංචා සහගත ඇමැතිවරයකු ලෙස කියමින්, මේ ඉන්දියානු සමාගම රුපියල් කෝටි 5ක මුදල් බෑග්වල දාලා මගේ නිවෙසට ගෙනැවිත් දීමේ දත්ත සියල්ල ඔහු සතුව තිබෙන බවට හිරු ටීවී ප්‍රවෘත්ති මඟින් ප්‍රචාරය කළා.

හිරු ප්‍රවෘත්ති 14 වැනිදා 6.55ට – දුම්රිය රියැදුරු ඉන්දික දොඩන්ගොඩගේ මාධ්‍ය හමුව සහ 2023.09.14 වෙබ් තිදස නිවුස් – බන්දුලට ඇටෑක් එකක් දුම්රිය සමිති කියයි, 2023.09.17 නෙත් එෆ්.එම්. නිවුස් අධිකාරියක් බවට පත් කරන්න දඟලන්නේ ඇමැතිවරයා, 2023.09.17 වැනි දින නෙත් එෆ්.එම්. නිවුස් කිප් දෙක හොරකම් නෑ කිව්වාට එතුමාගේ හොරකම් ඕනෑ තරම්, යනාදී ලෙස ඉහත සඳහන් තොරතුරු අඩංගු ඩී.වී.ඩී. තැටිය අංක එක ලෙස නම් කර එම තැටිය මේ සමඟ මම සභාගත කරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විද්‍යා විශේෂ උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව ලැබූ මම ශිෂ්‍යත්වයක් ලබලා බීජිං විදේශ අධ්‍යයනය ලැබුවා. මට පමණක් නොව මේ සභාවේ සිටින මැති ඇමැතිවරුන්ට සොයා බැලීමකින් තොරව වගකීමකින් තොරව කිසිදු සාක්ෂියකින් තොරව ඉතාම දරුණු ලෙස හෑල්ලුවට ලක් කරන ප්‍රකාශ කරනවා. 1989 මහජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මේ සභාවට පත්ව සභාවේ ගෞරවය ආරක්ෂා වන පරිදි මම කටයුතු කළා. රටේ ජනතාවගේ නූල් පොටක්වත් අපි හොරකම් කරලා නැහැ. සත පනහක හෝ වංචාවක් මම කර ඇති බවට ඔප්පු කරනවා නම් මේ පාර්ලිමේන්තුවෙන් පමණක් නොව සමස්ත දේශපාලනයෙන්ම සමුගන්නවා. මගේ දරුවන් කවුරුත් දේශපාලනය කරන්නේ නැහැ. මගේ පවුලේ මම පමණයි අවසන් වතාවට මේ දේශපාලනය කරන්නේ. මේක ඔප්පු වුණොත් සදහටම මේ දේශපාලන ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා. එසේ තිබියදීත් ඒ බව දැන දැනත් මාධ්‍ය ආයතනවලින් මෙසේ කිරීමෙන් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව මගේ වරප්‍රසාද කඩ වී ඇති බව විශ්වාස කරනවා. ඊට හේතුව මම මේ පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප පවා සම්පූර්ණයෙන් යුද්ධය තිබෙන කාලයේ පාර්ලිමේන්තුව විසින්ම ආරම්භ කළ අරමුදලට බැර කළා. ජීවිත කාලයේ කිසිදු දවසක ඇමැති නිල නිවෙසක සිටියේ නැහැ. පෞද්ගලික ආදායම් බදු ගෙවන මුදල්වලින් රුපියල් ලක්ෂ 100ක් යොදා ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල ඇති කළා. මෙරට සුවහසක් දරුවන්ට උගුරට ලේ රහ දැනෙනකන් මේස් බැනියමට දහඩිය උරනකන් අපි දන්න දේ උගන්වලා ඒ අය ආචාර්ය, මහාචාර්යවරු, විද්වතුන් විදියට පත් කරලා තිබෙනවා. එවැනි දේ කර තිබියදීත් මෙලෙසින් අපහාසාත්මක වෛරී සහගත සිතුවිලි ඇති වෙන විදියට මාධ්‍ය මඟින් අසත්‍ය ප්‍රචාර කිරීම නුසුදුසුයි. මේ සඳහා කළ හැකි උපරිම දේ කරන ලෙස වරප්‍රසාද කමිටුවට මේ ප්‍රශ්නය යොමු කරන්න කියලා කථානායකතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT