Home » මහ කන්නයේ පොහොර ගන්න කෝටි 1200ක් ගොවි ගිණුම්වලට

මහ කන්නයේ පොහොර ගන්න කෝටි 1200ක් ගොවි ගිණුම්වලට

by mahesh
September 22, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මෙවර මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් කෝටි 1200ක් ගොවි ගිණුම්වලට බැර කිරීමට රජය තීරණය කර ඇත.

වී වගා කරන හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් වශයෙන් එම මුදල්, ගොවීන්ට හිමි වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

පොහොර මිල දී ගැනීම සඳහා සහනාධාරයක් වශයෙන් රජයෙන් හිමි වන මෙම මුදලින් ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීමට හැකි බව ද ඇමැතිවරයා පවසයි.

බණ්ඩි පොහොර හා යූරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර, මූලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද ඇමැතිවරයා කියයි. එමෙන්ම මෙවර ද යූරියා පොහොර මිටියක් රුපියල් 9000ක මුදලට රාජ්‍ය අංශයේ පොහොර සමාගම් මඟින් ලබා දෙන බවත් එම මිලටම යූරියා පොහොර ගොවීන් වෙත ලබා දීමට පුද්ගලික අංශය ද එකඟත්වය පළ කර තිබෙන බවත් ඇමැති අමරවීර මහතා අවධාරණය කරයි.

පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 1200ක මුදලක් රජය වෙන් කර ඇත්තේ රටේ පවතින මුදල් අර්බුදයද සැලකිල්ලට ගනිමින් බවත් මෙයට වඩා මුදලක් ලබා දීමට හැකි නම් ඒ සඳහා පියවර ගන්නා බවත් අමරවීර මහතා පෙන්වා දෙයි.

ලංකා ජාතික ගොවි සංවිධාන බලමණ්ඩලය නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරුන් පෙරේදා (20) හමුවූ අවස්ථාවේදී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති අතර, ගොවීන්ගේ ගැටලු විමසීමක්ද සිදු කර ඇත. එහිදී ගොවි නියෝජිතයන් වී සඳහා උපරිම මිලක් ලබා දෙන ලෙසත් ගොවි ජනතාවට සහනාධාර අවශ්‍ය නැති බවත් ඇමැතිවරයාට පවසා තිබේ. සියලුම ගොවි සංවිධාන එක තීරණයක් ගෙන පොහොර සහනාධාරය අවශ්‍ය නැති බව ප්‍රකාශ කරන්නේ නම් එම මුදල් යොදවා වී මිල දී ගැනීමටත් වී සඳහා ඉහළම මිලක් ලබා දීමටත් හැකි බව ඇමැති අමරවීර මහතා එම ගොවි නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT