Home » පුංචි සීගිරියේ බිතු සිතුවම් විනාශමුඛයේ

පුංචි සීගිරියේ බිතු සිතුවම් විනාශමුඛයේ

-පුරාවිද්‍යාවට කිවුවත් වැඩක් නැහැ

by sachintha
September 21, 2023 1:21 am 0 comment

-විහාරාධිපති බඹරවානේ සද්ධාතිස්ස හිමි

අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොත්මලේ පුංචි සීගිරිය විහාරස්ථානයේ ඇති ඓතිහාසික බිතු සිතුවම් විනාශ වෙමින් පවතින අතර එය රැකගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බව පුංචි සීගිරිය රජමහා විහාරාධිපති බඹරවානේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ. සද්ධාතිස්ස රජ සමයේ ආරම්භ වී ඇති මෙම විහාරය පුංචි සීගිරිය ලෙස හඳුන්වන්නේ සීගිරි බිතු සිතුවම් වලට සමාන චිත්‍ර දෙකක් ඇති නිසාය. දැනට මෙම චිත්‍රවල කොටසක් ඇති අතර එයද විනාශ මුඛයට යමින් පවතින බව උන්වහන්සේ පවසති. මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන් පසුව එය ආවරණයට වහලයක් සකස් කර ඇතත් මේ දිනවල ඇති වර්ෂාව සමඟ මෙම වටිනා චිත්‍ර තෙත්වී ඇති බවද උන්වහන්සේ පවසති.

මෙම චිත්‍ර දෙක නිර්මාණය කර ඇති ගලද කඩා වැටීමේ තර්ජනයකට මුහුණ පා ඇති අතර ගල උඩින් වැටෙන වැසි ජලයෙන් මෙම චිත්‍ර දෙක විනාශ වෙමින් පවතින බවද උන්වහන්සේ සඳහන් කළහ. මෙයට අමතරව මෙම විහාරස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් කටයුතු ආරම්භ කර ඒවාද අතරමග නතර කර දමා ඇති අතර එම කැණීම් කරන ස්ථානද වර්ෂාව සමඟ විනාශ වෙමින් පවතින බව ද පැවසූහ. දිගාමඩුල්ල ඉතිහාසයේ වැදගත්ම සාධකයක් වන මෙම ඓතිහාසික චිත්‍ර රැකගැනීම ඉතා වැදගත් වන අතර එය රැකගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස උන්වහන්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලිමක්ද කළහ. මේ පිළිබඳව විමසීම සඳහා නැගෙනහිර පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

දිගාමඩුල්ල විශේෂ ඩබ්. චන්ද්‍රපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT