Home » දරුවකුගේ වකුගඩු දෙකම ඉවත් කිරීමේ සිද්ධිය – විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු උසාවියට කැඳවයි

දරුවකුගේ වකුගඩු දෙකම ඉවත් කිරීමේ සිද්ධිය – විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු උසාවියට කැඳවයි

- උප පොලිස් පරීක්ෂකවරයකුටත් නොතීසි

by sachintha
September 21, 2023 1:26 am 0 comment

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වම් වකුගඩුව වෙනුවට වකුගඩු දෙකම ඉවත් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණයේ සාක්ෂි ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරු දෙදෙනකුට හා උප පොලිස් පරීක්ෂකවරයකුට ලබන මස 11 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (20) නොතීසි නිකුත් කළාය.

සිද්ධියට අදාළ සැත්කම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා සාක්ෂිකරුවන් වෙත මෙසේ අධිකරණය නොතීසි නිකුත් කෙළේය.

සිද්ධියට අදාළව සාක්ෂි ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍ය නුවන් හේරත්, විශේෂඥ වෛද්‍ය සඳනි අප්සරා ගුණරත්න හා උප පොලිස් පරීක්ෂක මාරසිංහ යන අයට නොතීසි නිකුත් කෙරිණි.

මහාචාර්ය රන්දුල රණවක මහතා ඊයේ (20) අධිකරණය හමුවේ පෙනී සිටි අතර සාක්ෂි විභාගය මෙහෙයවන පොලිස් නිලධාරියා නොමැතිවීම හේතුවෙන් විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අදාළ පොලිස් නිලධාරිවරයා අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා කල්තියා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට මෙහිදී තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරිය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවට ද පැවසුවාය.

අදාළ සැත්කම සිදුකළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා ඔස්ට්‍රේලියාව සඳහා පදිංචියට ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍ය දුමින්ද ජයසූරිය මහතා පුහුණුව සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔහු නැවත දිවයිනට පැමිණි පසු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගන්නා බවට බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය දරුවාගේ වකුගඩුව සම්බන්ධයෙන් වන වර්ණ ඡායාපිටපත් අධිකරණයට යොමු කරන ලෙසට රෝහල් අධ්‍යක්ෂකවරයාට නියම කරමින් නඩු විභාගය කල් තැබුවාය.

 

සිරන්ජනි කුමාරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT