ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධ නඩුව ඊයේ සිඩ්නි නුවර ඩව්නින් දිස්ත්‍රික් අධිකරණයේදී විනිසුරු සාරා හගේට් මහත්මිය ඉදිරියේ දෙවැනි දිනයට විභාගයට ගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.
නඩු විභාගයේ පළමු දිනයේදී මෙන්ම ධනුෂ්ක ගුණතිලක සුදු ජාතික තරුණිය හා අතිනත් ගෙන අධිකරණයට පැමිණි බවත්, ලිංගික අතවරයට ලක්වූ බව කියන කාන්තාව ද ඊයේ අධිකරණයේදී සාක්ෂි දුන් බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
දෙවැනි දිනයටත් සාක්ෂි දුන් අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක ලිංගික එක්වීමේදී සත්වයකු මෙන් හැසිරුණු බවත්, සිය නිදන කාමරය වෙත යෑමෙන් පසු ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වූ බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇති අතර, සාක්ෂි ලබාදීමේ අවසන් මොහොතේදී ඇය හඬා වැටුණු බව ද වාර්තා වේ.
සිඩ්නි නුවරදී දෙදෙනා මුණගැසීමෙන් පසු පීට්සා ආහාරයට ගෙන රාත්‍රී 11.00ට පමණ නගරයේ බෝට්ටු සේවයෙන් ඇගේ නිවෙස කරා යමින් සිටියදී ඔහු බලහත්කාරයෙන් ඇගේ දෙතොල් සිපගත් බවට සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව පැවසුව ද බලහත්කාරයෙන් දූෂණය කිරීමට පෙර තම නිදන කාමරයට ඔහු කැටුව ගොස් එහි ඉටිපන්දම් දැල් වූ බව ඇය අධිකරණයේදී ප්‍රකාශ කර ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
බෝට්ටු සේවයට ගොඩවීමට පෙර ඔහුට ආපසු යන ලෙස පැවැසීමට හැකිව තිබූ බව ද ඇය පිළිගෙන ඇති අතර, ඒ වෙනුවට තම නිවෙසට පැමිණෙන ලෙස ඇරියුම් කර ඔහුට වයින් පිළිගැන්වූ බවත්, ඔහු ඉදිරියේ ගිටාරය වාදනය කළ බවත් ඇය අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.
තමා ගිටාරය වැයීම ධනුෂ්ක සිය අවසරයකින් තොරව ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කිරීම නිසා ගිටාරය වැයීම නතර කළ බව ඇය ඊට පෙර පොලිසියට ප්‍රකාශ කර තිබිණි. ධනුෂ්කගේ ජංගම දුරකතනයේ ගබඩා කර තිබූ එම වීඩියෝ පටය ඊයේ අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කර ඇති අතර, ඇය ගිටාරය වැයීම නවත්වා වීඩියෝ කැමරාවට සිනාසෙන අයුරු එහි පටිගතව තිබූ බව වාර්තා වේ.
පෙර කී සියල්ල සිදුවීමෙන් පසුව ද ඇය ඔහු නිදන කාමරයට කැටුව ගියේ දැයි ධනුෂ්කගේ නීතිඥවරයා ඇසූ හරස් ප්‍රශ්නයකට ඇය ‘ඔව්‘ යනුවෙන් පිළිතුරු දී තිබේ.
අදාළ කාන්තාව ධනුෂ්ක ගුණතිලක සිය නිදන කාමරයට කැටුව ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි මෙහිදී ඔහුගේ නීතිඥවරයා ප්‍රශ්න කර ඇත.
ධනුෂ්ක නිදන කාමරයට කැටුව යෑමට ගත් තීරණය ඊට පෙර සිදුවූ සියල්ලට සම්පූර්ණයෙන්ම එකඟතාව පළ කිරීමක් බවට නීතිඥවරයා යෝජනා කිරීමේදී ඇය ඊට විරෝධතාව පළ කර තිබේ.
විනිසුරු සාරා හගේට් මහත්මිය හමුවේ නඩුව යළි අද කැඳවීමට නියමිතය.