සහන් ආරච්චිගේ නායකත්වයෙන් යුතුව ආසියානු ක්‍රීඩා උලෙළට එක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 4 වැනිදා පළමු තරගයට එක් වීමට නියමිතය.
කණ්ඩායම් 14කගේ සහභාගිත්වයෙන් විස්සයි20 ආකෘතිය යටතේ පැවැත්වෙන මේ තරගාවලියේ මූලික වටයේ තරග ලබන 27 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාව සමඟ ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් සිටින කණ්ඩායම් වන ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ඍජුවම සුදුසුකම් ලබන අතර, සෙසු රටවල් 9 මූලික වටයට එක් වනු ඇත.
එහිදී කාණ්ඩ 3කින් තරග පැවැත්වෙන අතර, මූලික වටය අවසානයේ කාණ්ඩ තුනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 3 අර්ධ අවසන් වටයට එක්වනු ඇත.
ශ්‍රී ලංකා පිල ඔක්තෝබර් 4 වැනිදා අර්ධ අවසන් වටයේ තරගයට එක් වන අතර, එම තරගයේ ජයග්‍රාහකයන් 6 වැනිදා පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ පදක්කම් සඳහා අවසන් තරග 7 වැනිදා පැවැත්වේ.
මේ තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ මස 30 දා චීනය බලා පිටත්ව යෑමට නියමිතය.
මේ අතර ඊයේ ආසියානු ක්‍රීඩා උලෙළ ආරම්භ කරමින් පළමු දිනයේම තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායමට සත්කාරක චීනය හමුවේ 2-0කින් පරාජය වීමට සිදු විය. චතුරිකා මධුෂානි සහ දීපිකා බණ්ඩාර නියෝජනය කරන ශ්‍රී ලංකා පිල ඊයේ සවස එක් වූ දෙවැනි තරගය කසකස්තානය හමුවේ 2-1කින් පරාජය විය. තරගාවලියේ දෙවැනි දිනය වූ අද ඔරු පැදීමේ ඉසව්ව ආරම්භ වන අතර, මේ ඉසව්වට ශ්‍රී ලංකාවෙන් නුවන් සම්පත් සාරංග, එම්.එන්.එම්. නෆිරාන්, චන්ද්‍රකුමානි හපුලියනගේ සහ ශිවංගි වෙහිහෙනගේ එක් වෙති. එම කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පී.එස්.ලෝපස් සහ ඒ.එම්.එම්.එම්.එම්. අලගියවන්න මහත්වරු කටයුතු කරති.