කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප ටෙලිග්‍රෑම් මෘදුකාංගය ඔස්සේ මුදලට බෙදා හරිමින් සිටි රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 19 හැවිරිදි සාමණේර හිමිනමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සාමනේර හිමිනම වැඩ සිටින කුටිය පරීක්ෂා කිරීමේදී එහි පරිගණක තුනක් තිබී හමු වී තිබේ. එම පරිගණක තුළ කුඩා දරුවන් යොදා ගෙන කරනු ලබන අසභ්‍ය ලිංගික කටයුතු සම්බන්ධ වීඩියෝ දර්ශන 3000කට අධික ප්‍රමාණයක් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට හමුවී ඇත.
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වෙබ් අඩවි නිරීක්ෂණය කිරීමේ විශේෂ ඒකකයක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය තුළ මේ වන විට ස්ථාපිතය. එම ඒකකය මගින් සිදුකරනු ලබන්නේ පරිගණක ඔස්සේ සිදුකරන නීති විරෝධි ක්‍රියා නිරීක්ෂණය කිරීමය. ටෙලිග්‍රෑම් මෘදුකාංගය ඔස්සේ ප්‍රසිද්ධකර තිබුණු දැන්වීමක් එම කණ්ඩායමට නිරීක්ෂණය වී ඇත්තේ ඒ අනුවය. එම දැන්වීමේ තිබී ඇත්තේ බාල වයස්කාරුවන්ගේ නිරුවත් දර්ශන හා ඡායාරූප අලෙවි කිරීමට ඇති බවය.
ඒ බව අදාළ නිරීක්ෂණ කණ්ඩායමේ නිලධාරීන් පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතා දැනුවත් කර තිබේ. රන්දෙණිය මහතා එහිදී එම නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලා වැටලීමක් සිදුකරන ලෙසය.
එම උපදෙස්වලට අනුව යමින් නිරීක්ෂණ කණ්ඩායම විසින් ටෙලිග්‍රෑම් මෘදුකාංගය ඔස්සේ අදාළ දැන්වීම්කරු සමඟ අදහස් හුවමාරුකර ගෙන ඇත. දර්ශන හා ඡායාරූප ලබාදීමට ඔහු එහිදී රුපියල් 2000ක මුදලක් ඉල්ලා තිබේ. ඊට කැමැත්ත පලකර පණිවුඩයක් ටෙලිග්‍රෑම් මෘදුකාංගය ඔස්සේම තැබීමෙන් පසු දැන්වීම්කරු බැංකු ගිණුම් අංකයක් ලබාදී ඇත්තේ මුදල් ඊට බැරකරණ ලෙසය.
එම මුදල් බැර කිරීමෙන් අනතුරුව කුඩා දරුවන් යොදාගෙන සිදුකරනු ලබන අසභ්‍ය ලිංගික ක්‍රියා ඇතුළත් වීඩියෝ දර්ශන 30ක් අන්තර් ජාලය ඔස්සේ යොමු කිරීමට දැන්වීම්කර පියවර ගෙන ඇත. එම දර්ශන දේශීය මෙන්ම විදේශිය ඒවා බව බැලූ බැල්මය පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම වීඩියෝ දසුන් ලැබීමත් සමග පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වැටලීමක් සංවිධානය කරනු ලබන්නේ අදාළ බැංකු ගිණුම් අංකයේ තොරතුරු හා ටෙලිග්‍රෑම් මෘදුකාංගයට අදාළ දැන්වීම්කරු සම්බන්ධ වූ දත්තයන් ඔස්සේය.
දැන්වීම්කරුගේ ලිපිනය සොයා යාමේදී එම ස්ථානය රාගම පිහිටි විහාරස්ථානයක් බව පෙනී ගොස් ඇති අතර මේ කටයුත්ත කර ඇත්තේ 19 හැවිරිදි සාමනේර හිමිනමක් බව අනාවරණය වී ඇත්තේ නිලධාරීන් එහි ගිය පසුවය.
මුලදී තමන් වහන්සේ කිසිවක් නොදන්නා බව සාමනේර හිමියන් පවසා ඇත. එහිදී පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විහාරස්ථානයේ නායක හිමියන් දැනුවත්කර සාමනේර හිමියන්ගේ කාමරය හා එහි තිබුණු පරිගණක පරීක්ෂා කිරීමේදී උන්වහන්සේ අසභ්‍ය දර්ශන අලෙවි කිරීමේ අලුත් ආදායම් මාර්ගයක් සොයාගෙන ඇති අනාවරණය වී තිබේ.
එම වීඩියෝ දර්ශන පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ එයින් සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර් ජාල වෙබ් අඩවියකින් උන්වහන්සේ විසින් ලබාගෙන ඒවා ගබඩාකර තබාගෙන මෙසේ මුදලට බෙදා හැරීමේ ව්‍යාපාරයක නිරතව සිටින බවය. ඒ හැරුණු කොට දේශීය හැඩරුව ඇති දරුවන් සිටින වීඩියෝ දර්ශනද සුළු ප්‍රමාණයක් ඒ අතර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එම දර්ශන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර විමර්ශනයක් පවත්වන බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සදහන් කළේය. විදේශ වීඩියෝ දසුන්වල බැලූ බැල්මට සිටින්නේ අවුරුදු 04 හා 05 වැනි වයස්වල දරුවන් බවත් දේශීය වීඩියෝ යැයි අනුමාන කරන දර්ශන වල සිටින්නේ අවුරුදු 14 හා 16 යන වයස්වල පසුවන දරුවන් බවත් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.
මෙම සාමනේර හිමිනමගෙන් මෙයට පෙර මෙම වීඩියෝ දසුන් ලබාගත් අය සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භකර ඇති බවත් ඒ සඳහා තාක්ෂණික මෙහෙයුමක් දැනටමත් දියත්කර ඇති බවත් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.