ප්‍රවාහන හා මහාමාර්ග ඇමැතිවරයා ලෙස මෙම විෂය භාරගෙන වසරක් ගත වන විටදී දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවැති රුපියල් බිලියන 2.6ක ආදායම රුපියල් බිලියන 11.6ක් දක්වා ඉහළ නැංවීමට හැකි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසුවේය.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මීට වසරකට පමණ පෙර පැවැති රුපියල් බිලියන 48ක වියදම රුපියල් බිලියන 42ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
පසුගියදා සිදු කළ දුම්රිය වර්ජනය නිසා වටිනා ජීවිතයක් අහිමි වුණා. 84ක් පමණයි මේ කටයුත්තට සම්බන්ධ වුණේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ 14,000ක් සේවකයන් සිටිනවා. දෛනිකව දුම්රිය ගමන්වාර 400ක් පමණ සිදු කරනවා. එහිදී දෛනිකව දුම්රිය මගීන් 296,000ක් පමණ ගමනාගමනයේ යෙදෙනවා. ඒ අනුව දිනකට ලක්ෂ දෙකහමාරක් පමණ දුම්රියේ ගමන් කරනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර මඟින් දෛනිකව රුපියල් මිලියන 30ක ආදායමක් ලැබෙනවා. දෙපාර්තමේන්තුවේ සේවකයන්ට දීමනා ලෙස මසකට රුපියල් මිලියන 1200ක් පමණ වැය වෙනවා. 2015 වසරේ සිට වෘත්තීය සමිති වැඩ වර්ජන ප්‍රමාණය ගණනය කරන්න භාර දී තිබෙනවා. ඒවායෙන් සිදු වූ පාඩුව ගණනය කිරීමට කාලයක් ගත වෙනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් විනාශ කළ කාලයක් තුළ තමයි මම මේ විෂය භාර ගත්තේ. වසරක් පමණ වෙනවා මේක භාරගෙන. විවිධ අක්‍රමිකතා නිසා මේ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.