Home » අධ්‍යාපනය නැමැති එන්නත ළමයින්ට දුන්නාම රට ඉබේම හැදෙනවා

අධ්‍යාපනය නැමැති එන්නත ළමයින්ට දුන්නාම රට ඉබේම හැදෙනවා

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ලෝකයේ කිසිම රටක් අධ්‍යාපනය නැතිව දියුණු වෙලා නෑ 
– ඩී.පී. එඩියුකේෂන් සභාපති ධම්මික පෙරේරා කියයි

“පොස්පේට් නිධිය හරි සිලිකා නිධිය හරි විකුණලා දියුණු වෙන්න පුළුවන් කියා කවුරු හරි සිතනවා නම්, එහෙම වෙන්න බැහැ. රටක් ජනතාවක් දියුණු කරන්න නම් අධ්‍යාපනය ඔවුන්ට දෙන්නම ඕනෑ” යැයි ඩී.පී. එඩියුකේෂන් සභාපති හා නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

“අධ්‍යාපනය නැමැති එන්නත ළමයින්ට දුන්නාම රට ඉබේම හැදෙනවා. සමස්ත රටේම දූ දරුවන් ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කිරීම, සන්නිවේදන සහ චින්තන කුසලතාවන් වර්ධනය කිරීම, අරමුණු කරගෙන ඒ අධ්‍යාපනය ලබාදීමටයි අපි කටයුතු කරන්නේ” යැයි සභාපතිවරයා කීය.

ඩී.පී.එඩියුකේෂන් අයි.ටී.කැම්පස් 61 වැන්න ඉකුත්දා අනුරාධපුර නගරයේ වීරසේකරාරාම ශ්‍රී භාරතීන්ද්‍ර මහ පිරිවෙන් විද්‍යායතනයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා මේ බව පැවසීය.

“හැම කෙනෙක්ගේම අතේ ස්මාර්ට් ජංගම දුරකතනයක් තියෙනවා කියන්නේ ලංකාවේ තියෙන හොඳම ඉස්කෝලේ ඔබේ අතේ තියාගෙන ඉන්නවා කියන එකයි. හැබැයි එහෙම තියාගෙනත් ඔයාලා ළමයි කිලෝමීටර් දහය, පහළොව සමහර විට ඊටත් වැඩිය ඈතක පාසලකට පන්තියකට යවනවා. දැන් බලන්න මේ සැරේ ඒ ලෙවල්වල ගණිත අංශයෙන් පළමුවෙනියා වුණු ළමයත්, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ලංකාවෙන් පළමුවෙනියා වුණු ළමයත්, තාක්ෂණ විෂයෙන් ගාල්ලේ පළමුවෙනියා වුණු ළමයත් ඉගෙන ගත්තේ අපෙන්. අධ්‍යාපනයට තමයි අපි ප්‍රමුඛස්ථානය දිය යුත්තේ. ලෝකයේ කිසිම රටක් අධ්‍යාපනය නැතිව දියුණු වෙලා නැහැ. නූගත් මිනිස්සු ඉන්න කිසිම රටක් දියුණු වෙලත් නැහැ. අධ්‍යාපනය නැතිව සල්ලි හම්බ කරන්න බැහැ. අධ්‍යාපනය තිබිය යුතුමයි සල්ලි හම්බ කරන්න. මම දුප්පත්කම නැත්තටම නැති කරන්න තමයි මේ ඩී.පී.එඩියුකේෂන් කැම්පස් එක පටන් ගත්තේ. ඒක මට කරන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මේ තියෙන පාඨමාලා ටික ඉගෙන ගන්න විතරයි. මේ පාඨමාලා ඉගෙන ගන්න ඉංග්‍රීසි අවශ්‍ය නැහැ. හැබැයි ඒ පාඨමාලාවල ඉංග්‍රීසිත් තියෙනවා. ඩී.පී. එඩියුකේෂන් පාඨමාලාවල ඉංග්‍රීසි වචන 1000කට අධික සංඛ්‍යාවක් අපි ඇතුළත් කර තියෙනවා. එ‍තකොට ළමයි නිකම්ම ඉංග්‍රීසිත් ඉගෙන ගන්නවා”යැයි ධම්මික පෙරේරා මහතා පැවසීය.

‘ඩී.පී.එඩියුකේෂන් අයි.ටී. කැම්පස් ’ හි අධ්‍යාපනය සාර්ථකව අවසන් කරන සිසුන්ට මොරටුව විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ගැනීමේ අවස්ථාවක් ද ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ට හිමිකර දී තිබේ.

ක්‍රමලේඛනය හෝ රොබෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයකුට මේ මධ්‍යස්ථාන වෙත පැමිණ ඉගෙන ගැනීමේ අවස්ථාව ඩී.පී.එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා සලසා ඇත.

වීරසේකරාරාම ශ්‍රී භාරතීන්ද්‍ර මහා පිරිවෙන් විද්‍යායතනයේ පැවති මේ උත්සව අවස්ථාවට අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් (පිරිවෙන්) රාජකීය පණ්ඩිත කුඹල්ගොඩ ධම්මාලෝක නාහිමි, සමස්ත ලංකා ‍ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෝක තරුණ බෞද්ධ සංගමයේ සභාපති මුගුණුවෙල අනුරුද්ධ නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහෝපාධ්‍යාය ධුරන්දර වඩිගවැවේ විපස්සි නා හිමි, අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි, උතුරු මැද පළාත් පිරිවෙන් අධ්‍යක්ෂ මාවතවැවේ රතනවංශ නාහිමි, සහකාර පිරිවෙන් අධ්‍යක්ෂ ඇතාබැඳිවැවේ උපාලි නාහිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මැණික්හින්නේ ධීරානන්ද නාහිමිවරුන් ඇතුළු මහසංඝරත්නයද, මවුපියන් සහ සිසු දරු දැරියන් 2700කට අධික පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT