කැබිලිත්ත රක්ෂිත වනාන්තරයේ නීති විරෝධී කටයුතු සිදු නොවීමට වගබලා ගන්නා බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණයට පෙරේදා (18) ප්‍රතිඥාවක් දුන්නේය.
පුද්ගලයන් පිරිසක් කැබිලිත්ත රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ ප්‍රතිඥාව ලබා දුන්නාය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම කැඳවනු ලැබිණි.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා එහිදී සඳහන් කළේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාධාවකින් තොරව සිය රාජකාරි පහසුවෙන් කරගෙන යෑම සඳහා සහන ලබා ගැනීමට මේ පෙත්සම ගොනු කර ඇති බවය. එබැවින් පෙත්සමට විරෝධතා දැක්වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
එසේම කැබිලිත්ත රක්ෂිතයේ නීති විරෝධී කටයුතු සිදු නොවිය යුතු බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගබලා ගත යුතු බවටද ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය.
එහිදී එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය සඳහන් කළේ එම රක්ෂිතයේ කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු නොවීමට වගබලා ගන්නා බවය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ඇතුළත් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව අදාළ මෝසම සම්බන්ධ කරුණු සලකා බැලීම සඳහා පෙත්සම ඔක්තෝබර් මස 16 වැනිදා කැඳවීමට තීරණය කෙරිණ. පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කේ. කේ. දිලේන, අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති. වන සංරක්ෂණ ඇමැතිවරයා, අමාත්‍යාංශයේ ලේකම්වරයා, වන සංරක්ෂණ ජෙනරාල්, සියඹලාණ්ඩුව දිස්ත්‍රික් ලේකම්, ඇතිමලේ සහ මොනරාගල පොලිස්ස්ථානාධිපතිවරු, පොලිස්පති සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාල ජාතික වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශයට වන්න කැබිලිත්ත රක්ෂිත වනාන්තරය පිහිටා ඇත.
මෑතක දී කැබිලිත්ත රක්ෂිත වනාන්තර කලාපයට කඩාවැදුණු පිරිස් එහි සිටි වනජීවී නිලධාරීන්ට පහර දී නීති විරෝධී ආකාරයෙන් වනාන්තර හෙළි කිරීමට කටයුතු කර ඇති බව ද වන රක්ෂණ නිලධාරීන් විසින් කළ වන වගාව සියතට ගැනීමට කටයුතු කරන බවද පවසමින් මේ පෙත්සම ගොනු කර තිබුණි.
ඒ හේතුවෙන් රුපියල් මිලියන 25ක් පමණ වටිනා වන වගාවක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අහිමි වීමේ අවදානමක් ඇති බවද මේ නීති විරෝධී ක්‍රියා ගැන පොලිසියට පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් මේ දක්වා ගෙන නැති බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
වන අපරාධකරුවන්ගේ තර්ජනවලට මුහුණ පා සිටින කැබිලිත්ත රක්ෂිත වනාන්තරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස මේ පෙත්සමෙන් ඉල්ලා ඇත. එසේම අනවසරයෙන් මේ රක්ෂිතයට ඇතුළු වී නීති විරෝධී කටයුතුවල නිරත වන්නන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
පෙත්සම සම්බන්ධයෙන් මේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තීරණය කළ විනිසුරු මඬුල්ල වගඋත්තරකරුවන්ට මෙලෙස නොතීසි නිකුත් කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.