කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනට මාස දෙකකදී රුපියල් කෝටි 220ක් වැය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (18) සෙවනගල, නුගේගලයාය ගම්මානය තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කරමිනි.
මෙහිදී අවට වැව් පද්ධතිය පිළිසකර කිරීම ද ආරම්භ වූ අතර, ගොවි ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීම ද සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගම්මාන 11ක් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම මේ යටතේ සිදු කෙරෙනවා. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කරගැනීම මෙහි අරමුණයි.
දැනට අපේ රටේ කෘෂිකර්මාන්තයේ නිරත වන ගොවි ජනතාවගෙන් සියයට 80කටත් වඩා වැඩි පිරිස වයස අවුරුදු 50 ඉක්මවු අය. තරුණ ප්‍රජාව සිටින්නේ සියයට 20ක් පමණ ප්‍රමාණයක්. වර්තමාන තරුණ ප්‍රජාව තුළ කෘෂිකර්මාන්තය දියුණු විය හැකි වෘත්තියක් කියා අදහසක් නෑ. ඒ නිසා ඔවුන් කෘෂිකර්මාන්තය වෙනුවට වෙනත් රජයේ රැකියා සොයා යනවා.
ඒත් අපි කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන යටතේ තරුණ ප්‍රජාවට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය නව තාක්ෂණය හඳුන්වා දෙනවා. ඒ වගේම ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීමට පහසුකම් අපි සලසනවා. මෙරට කෘෂිකර්මාන්තයට මේ තරුණ ප්‍රජාව ආකර්ෂණය කළ හැක්කේ යැපුම් මට්ටමේ කෘෂිකර්මාන්තයක් නොව අපනයනය ඉලක්ක කර ගත් කෘෂිකර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමෙන් පමණයි.
මේ නව වැඩපිළිවෙළ යටතේ හරිතාගාර තුළ වගාව සඳහා අපි සියයට 50ක සහනාධාරයක් දෙනවා. රජයෙන් රුපියල් ලක්ෂ 05ක් දෙනවා. ව්‍යවසායකයා විසින් ඉතිරි ලක්ෂ පහ දරා ගත යූතුයි. ඒ වගේම සත්ත්ව පාලනය, වෙනත් එළවළු සහ පලතුරු වගාවන්ට තරුණ ව්‍යවසායකයන්ට අවශ්‍ය පැළ වර්ග, බීජ, තාක්ෂණය නොමිලේ දෙනවා.
අදියර කිහිපයක් යටතේ මේ ගම්මාන සංවර්ධනය කෙරෙනවා. මේ ගම්මානවල නිෂ්පාදන සියල්ල අපනයනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.”
මේ අවස්ථාවට විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර, අධ්‍යාපන රාජ්‍ය ඇමැති විජිත බේරුගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.