මනුෂ්‍යත්වය ගොඩනැඟීමට වෑයම් නොකර රටක ජීවත් විය නොහැකි බවත්, වෙඩි තැබීම්වලින් අහිංසක දැරියක් ඝාතනය කර පියාගෙන් පළිගැනීමට උත්සාහ දරා ඇත්නම් රටේ ඇති බරපතළම අර්බුදය ආර්ථිකය නොව මනුෂ්‍යත්වය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“මගේ හද කම්පනය කළා, අහිංසක දැරියක් වෙඩි තබා මරා දැමීම පිළිබඳව. එය මාධ්‍ය වාර්තා කළ ආකාරයට පියාගෙන් පළිගැනීමට දරුවාට වෙඩි තබා තිබෙනවා. අමෙරිකාවේ මේ අවුරුද්දේ විසි පන්දහසක් මිය ගිහින් තිබෙනවා, සමූහ වෙඩි තැබීම්වලින්. මෙරට හාරසිය හැත්තෑවක් මිය ගිහින් තිබෙනවා. මේ අහිංසක දැරිය මැරුවේ පියාගෙන් පළිගැනීමට නම් මේ රටේ බරපතළම අර්බුදය ආර්ථිකය නොව මනුෂ්‍යත්වයයි. මේ තරගකාරී සමාජයේ මව්පියන්ගේ වුවමනා ඉෂ්ට කරන උපකරණ බවට දරුවන් පත්වෙලා තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ අතිශය පිඩාකාරී තරගකාරීත්වය නිසා මව්පියන් තමන්ට අහිමි වූ ලෝකය දරුවන් උගසට තියලා ඉෂ්ට කර ගන්න හදනවා.
මේ දැඩි ආත්මාර්ථකාමීත්වයක් මව්පියන්ගේ තිබෙන්නේ. ඒ නිසා මම පුද්ගලිකව හැමදාම කටයුතු කළේ මනුෂ්‍යත්වය දෙවැනි කොට කිසිදෙයක් කරන්නේ නෑ කියලා. ඒ නිසා හැම කෙනෙක්ම මනුෂ්‍යත්වය ගොඩනඟන්න වෑයම් කරන්නේ නැතිනම් අපට රටක ජීවත් වෙන්න අමාරුයි.”