Home » සන්නාමයක් කියන්නේ පිරිවැයක් නොවෙයි ආයෝජනයක් 

සන්නාමයක් කියන්නේ පිරිවැයක් නොවෙයි ආයෝජනයක් 

කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය රවී දිසානායක

by mahesh
September 20, 2023 1:05 am 0 comment

– දේශ සන්නාමකරණයේ සිට භාණ්ඩ සන්නාමකරණය දක්වා ප්‍රතිරූප වර්ධනය දැන් අලුත් වෙලා

Country branding (දේශ සන්නාමකරණය) කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතු කාලයක් එළැඹ තිබේ. ඒ සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය රවී දිසානායක මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

– ප්‍රමිතියෙන් උසස් කිසි දෙයක් වැටෙන්නේ නෑ
– බොහෝ රටවල ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැඟී තිබෙනවා

Country branding (දේශ සන්නාමකරණය) සංකල්පය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත් ?

ආර්ථික විද්‍යාත්මක සහ ව්‍යාපාර කළමනාකරණය පැත්තෙන් බලන විට මෙහි මූලික සිද්ධාන්ත එක සමානයි. ආයතනයක් brand කිරීම( ආයතනය සන්නාම කිරීම) , නිෂ්පාදනයක් brand කිරීම, සංවිධානයක් brand කිරීම තුළ ග්‍රාහක පිරිස සීමා වෙනවා. එහෙත්, ලෝකයේ ඕනෑම ආර්ථිකයක Country branding සංකල්පයේ උපක්‍රමික අරමුණ බැලු‍වාම එහි විකාශනයක් සහ පුළුල් අර්ථයක් තිබෙනවා. Country brandingවලදී අරමුණු සකස් විය යුත්තේ දිගුකාලීන වශයෙනුයි. දිගුකාලීන උපක්‍රමික අරමුණු මුල් කරගනිමින් රටක් පිළිබඳ ගෝලීය ප්‍රජාව,ගෝලීය ආයතන සහ අනෙකුත් රටවල් අතර ස්ථාපිත කරගන්නා ධනාත්මක ප්‍රතිරූපය සහ සංජානනය නම් වූ ක්‍රියාවලිය Country branding ලෙස හඳුන්වනවා. මෙහිදී රටක් සන්නාමය ලෙස යොදා ගන්නවා. රටක් සන්නාමයක් ලෙස ගැනීමේදි එය දේශපාලන සන්නාමයක් ලෙස යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ brand කළ යුත්තේ දේශපාලන භූමියක් ලෙස නොවේ.

වර්තමාන තත්ත්වය යටතේ අපේ රටේ Country branding යන්න කෙතරම් වැදගත් වෙනවාද?

ආයතනය අලෙවි කළමනාකරණය සහ උපායශීලි කළමනාකරණය මෙයට සම්බන්ධ කළොත්, බොහෝ පිරිස් සිතනවා රටක් brand කරන්න ඕනේ. රටේ සල්ලි තිබුණාම කියලා. ඔවුන් සිතන්නේ branding කියන්නේ පිරිවැයක් කියලා. එය ඇත්තටම වැරදියි. branding කියන්නේ පිරිවැයක් නෙවෙයි ආයෝජනයක්. රටක branding සඳහා දරන මූල්‍ය පිරිවැය, උත්සාහයන්, කැපකිරීම් ආයෝජනයක් ලෙස ගැනීමේදී එහි ප්‍රතිඵල ලබන වසරේ බලාපොරොත්තු වෙන්න බැහැ. අපි මෙවැනි ආර්ථික අවපාතයකට ලක්ව සිටින අවස්ථාවක අපේ රට නිවැරැදිව brand වෙලා තිබුණා නම්, මේ අවස්ථාවේ රටට එන්න ඕන විදේශිකයන්, රටට ලැබෙන්න ඕන, ධනාත්මක ප්‍රතිරූපය, සංචාරක කර්මාන්තයට සංචාරකයින් ගෙන්වා ගැනීමට හැකියාව තිබුණා. එහෙත්, අපේ රටේ පැවතුණු අර්බුදකාරී තත්ත්වයන් නිසා එයට බාධා ඇති වුණා. එයට උත්තර හොයන්න තිබුණේ දැන් නොවෙයි. මීට අවුරුදු හතරකට පහකට කලින්. අපේ රට හරියටම සන්නාමයක් විදිහට ලෝකය ඉදිරියේ ස්ථාපිත වෙලා තිබුණා නම්, අඛණ්ඩව ඒකට ආයෝජනය කළා නම්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කියන්නේ මේක, ශ්‍රී ලංකාව කියන්නේ මේ වගේ රටක්, ශ්‍රී ලංකාවේ මිනිසුන් මේ විදිහයි, ස්වාභාවික පරිසරය වශයෙන් ආදී ක්ෂේත්‍ර ඔස්සේ රට පිළිබඳ brand එක හැදිලා තිබ්බා නම්, මේ අර්බුදකාරී තත්ත්වයන් තුළ අපි කඩා වැටෙන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල ජනතාව තුළ ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැඟී තිබෙනවා. එහෙත් මේ අවස්ථාවේ එය 100%ක් සිදුවුණු කාරණයක් නොවේ. එහි යම් යම් අඩු පාඩු සිදු වුණා. ඒ නිසා තමයි අපි ක්ෂණික ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නේ.

අපේ ඉලක්කගත ග්‍රාහකයා වෙන්න ඕනෑ, ශ්‍රී ලංකාව සහ රටවල් කිහිපයක් නෙවෙයි. ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන්, උපක්‍රමික වශයෙන්, දේශපාලනික වශයෙන් අපිට වැදගත් කලාප දෙසයි අවධානය යොමු කළ යුත්තේ.

යුරෝපය, අ‍ෙමරිකාව, මැදපෙරදිග සහ රුසියාව කියන්නේ අපේ පාරිභෝගිකයින්. ශ්‍රී ලංකාවේ තේ, ඇඟලු‍ම් සහ සංචාරක කර්මාන්තයේ පාරිභෝගිකයන් තමයි ඒ රටවල්. ඒ නිසා Country brandingවල විදේශ ප්‍රතිපත්ති සකස් වෙන්න ඕනෑ, අපේ සැපයුම්කරුවා සමඟ පමණක් නොවෙයි. අපේ පාරිභෝගිකයාට ගැළපෙන පරිදි එම ප්‍රතිපත්ති සකස් විය යුතුයි. චීනය සහ ඉන්දියාව වගේ සැපයුම්කරුවන් දෙස අවධානය යොමු කරලා තමයි අපි බොහෝ අවස්ථාවල ප්‍රතිපත්ති සකස් කරන්නේ. එහෙත්, අපේ ගැණුම්කරුවන් බොහොමයක් සිටින්නේ වෙනත් රටවල,වෙනත් කලාපවල. ඒ රටවල් සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට අවශ්‍ය වන Country branding සිදු වෙලා තිබෙන ප්‍රමාණය මදි. අපි ගැණුම්කරු (Customer) අයින් කරලා සැපයුම්කරු (Supplier) සමඟ ගමනක් ගිහින් තියෙනවා. රටක් brand විය යුත්තේ සැපයුම්කරු සහ ගැනුම්කරු කියන දෙපාර්ශ්වයම සමඟයි. අපේ රට සමඟ කුමන රටවල්ද ඍණාත්මක ගනුදෙනුවලට ගිහින් තිබෙන්නේ,කුමන රටවල් ද අපත් සමඟ සිටින්නේ මේ සියල්ල ඉලක්ක කරලා තමයි ශ්‍රී ලංකාව කියන සන්නාමය ඉදිරියට ගෙන යා යුත්තේ. එය වසර දෙක තුනක් කරන ප්‍රචාරණ දැන්වීම්ක් නෙවෙයි. අවුරුදු පහක්, දහයක වගේ කාලයක දේශ සන්නාමකරණ ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි. කුමන රජයක් බලයට පත් වුණත්, කුමන ආණ්ඩු රට කළත්, කුමන ආයතනයක පරිපාලන නිලධාරියෙකු ආවත් ඊළඟ අවුරුදු පහට, ඊළඟ අවුරුදු දහයට ප්‍ර්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි.

මේ සම්බන්ධයෙන් වඩාත් සැළකිලිමත් විය යුුතු තැන් මොනවාද ?

මුලින්ම අපේ (Country branding strategy) එක හෙවත් ක්‍රමවේදය දිගුකාලීන උපක්‍රමයක් විය යුතුයි. ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ ආරාධනය ඇතුව මමත් උපක්‍රම සකස් කරන කමිටුවේ ප්‍රධානියා විදිහට අවුරුදු 2ක් කටයුතු කළා. එහිදී සමස්ත රටේම සන්නාමය සහ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සැලසුම් ලබාදුන්නා. යම් යම් ධනාත්මක ක්ෂේත්‍ර තුළ ඒවා මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි Country branding සංකල්පය උපායමාර්ගයක් විදිහට යොදාගෙන තිබුණේ නැහැ. එය කෙටිකාලීනව යොදා ගැනීමට උත්සහ කළත් දිගුකාලීන වශයෙන් යොදා ගන්නේ නැහැ. අපි කළේ Country branding සඳහා ප්‍රචාරක දැන්වීම් හදපු එක විතරයි.

Country branding කියන සමස්ත අරමුණට සමගාමිව තමයි Sector branding ගමන් කළ යුත්තේ. රටක් brand කරලා ආණ්ඩුවක් මාරු වෙනකොට ඒ රටේ සන්නාමකරණ සංකල්පය සහ සන්නිවේදන සංකල්පය වෙනස් කරනවා නම් ඒ රටේ දේශ සන්නාමකරණයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඊළඟ අවුරුදු පහ, දහය ඇතුළත කවුරු බලයට ආවත්, මොන ප්‍රචාරක දැන්වීම් ආයතනය ප්‍රචාරණය සිදු කළත් වෙනස් නොවී ගමන් කරන රටේ සන්නාමකරණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් ආයතනික සහයෝගය ඉතා වැදගත්. අපේ රටේ අපනයන සම්බන්ධ ආයතන තිබෙනවා, ඇඟලු‍ම් ක්ෂේත්‍රය සම්බන්ධ ආයතන, කෘෂිකර්ම ,සංචාරක, තොරතුරු තාක්ෂණය යන සියලු‍ම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තිබෙන ආයතන අතර ආයතනික සහයෝගිතාව මීට වඩා වර්ධනය කරගත යුතුයි. ඒ වගේම අපිට පුළුවන් ව්‍යාපාර ක්‍රියාවල බාහිර මූලාශ්‍රකරණය (Business process outsource) BPO කරන්න. මෙය ලෝකයේ තිබෙන මුදල් උපයන්න පුළුවන් හොඳම ක්‍රමයක්. BPO සඳහා ලංකාව හොඳ රටක් කියන එක අපි ස්ථාපිත කරන්න ඕනේ. සෑම ආයතනයක් සමඟ සහයෝගිතා භූමිකාවන් තිබිය යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලයයි, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයයි, තේ මණ්ඩලය එක මේසයකට එන්න ඕනේ. එහෙම වුණොත් එක එක ආයතනයට සහයෝගය දක්වන්න පුළුවන්. අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගය නැතුව තේ මණ්ඩලය පමණක් තේ සන්නාම ප්‍රවර්ධනය (Tea promotion) කරන්න ගියොත් එතැන නියම ශක්තිය ස්ථාපිත වන්නේ නැහැ. මේ නිසා රට තුළ ආයතනික වශයෙන් ආයතනික සහයෝගයක් ගොඩනගා ගත යුතුයි.

මෙය ගොඩනඟුණොත් ප්‍රතිඵලය සාර්ථකයි. ඇතැම් රටවල තානාපති කාර්යාල දැන්වීම් ප්‍රචාරණ ආයතන වගේ. තානාපති කාර්යාලවල තානාපති නිලධාරියාගේ වගකීම වන්නේ ඒ රටේ තිබෙන ව්‍යාපාරික සංවිධාන, ඒ රටවල සිටින විද්වතුන්, වෘත්තීකයන්ට දේශ සන්නාමකරණයට සමගාමීව අවුරුද්දකට වැඩසටහන් දෙකක්වත් සංවිධානය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි. එනම් තානාපති කියන්නේ රටේ Brand Ambassador හෙවත් රටේ සන්නාම තානාපතිවරයායි. අපේ රටේ බොහොමයක් ඉන්නේ තානාපතිවරු නමුත් සිටිය යුත්තේ සන්නාම තානාපතිවරුයි. ඒ ඒ රටවල සිටින තානාපතිවරුන්ට වගකීමක් තිබෙනවා අපේ රට ඒ අදාළ ආයතන ඉදිරියේ, අදාළ පාර්ශ්වයන් ඉදිරියේ හරියට අපේ රටේ ප්‍රතිරූපය ස්ථාපිත වන සේ ක්‍රියාත්මක වන අයුරින් වැඩසටහන් සංවිධානය කිරීමට සහ ඒවා ප්‍රවර්ධනය කිරීමට.

අපේ රටේ ප්‍රතිරූපය නැංවීමට ප්‍රවර්ධනය කළ යුතු අංශ මොනවාද?

විශේෂයෙන්ම සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි උපාය මාර්ගික චින්තනයක් සකස් කළ යුතුයි. අපි හිතමු ඒක ඇත්තටම අවුරුදු තුනකට පත් කරනවා කියලා. මේ රටේ ඕන තරම් මිනිසුන් ඉන්නවා නොමිලේ ඇවිත් වැඩ කරන්න. විද්වතුන්, වෘත්තිකයන්, විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයන්ගෙන් ගොඩනැගුන උපක්‍රමික කණ්ඩායමක් මුලින්ම නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ කණ්ඩායමට විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන් ඇතුළත් කළ යුතුයි. ඔවුන්ට පුළුවන් වෙන්න ඕන, ඉන්න රජයකට වසර පහකට මෙන්න මේ දේශ සන්නාමකරණ සැලසුමට යන්න කියන එකට දැක්ම ලබා දෙන්න. රටක, දේශ සන්නාමකරණයට වැදගත්වන රාජ්‍ය ආයතන සහ ඊට අදාළ වන අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන සියල්ල අතරේ උපාය මාර්ගික සම්බන්ධීකරණයක් තිබිය යුතුයි.

නිෂ්පාදන,සංචාරක,පුරාවිද්‍යා වැනි ක්ෂේත්‍රවලට branding සංකල්පය යොදා ගන්නේ කොහොමද?

නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රවල ලංකාව ලෝකය ඉදිරියේ ස්ථාපිත වෙන්න ඕනේ Made in Sri Lanka කියන brand එකෙන්. අපිට ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා, අපි ඒවා ක්‍රියාත්මක කරනවා. ලංකාවේ ඉන්නේ හොඳ මානව ප්‍රාග්ධනයක් සහිත මිනිසුන්, මේ මිනිසුන් විසින් නිර්මාණය කරන නිෂ්පාදනය තමයි Made in Sri Lanka කියන brand එක කියලා ලෝකයටම පෙන්වන්න ඕනේ. උදාහරණයක් විදිහට Made in Japan කිව්වාම කිසිදු කෙනෙක් brand එකේ තත්ත්වය පිළිබඳ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. Made in Sri Lanka යනුවෙන් තේ brand රාශියක් මේ වනවිටත් ලෝකය ජයගෙන තිබෙනවා. එහෙත් Made in Sri Lanka කිව්වාම තේ brand එකට කලින් ලංකාව පිළිබඳ රූපයක් ඇති විය යුතුයි. ලෝකයට රටේ නිෂ්පාදනය යනවා නම් ශ්‍රී ලංකාව කියන්නේ කුමන ආකාරයේ මූලාශ්‍රමය රටක්ද කියන එක මුලින්ම ලෝකය හමුවේ ස්ථාපිත කළ යුතුයි.

සංචාරක කර්මාන්තයෙන් ලංකාව ලෝකයේTop ten destinationවලට අයත් වී තිබෙනවා. ඇත්තටම සංචාරක කර්මාන්තයෙන් ලංකාව brand වෙලා තියෙන්නේ. ඒත් මේක නෙවෙයි අපේ විභව මට්ටම. සමහර රටවල තිබෙන්නේ අපේ රටට සාපේක්ෂව ඉතා අඩු සම්පත් සංඛ්‍යාවක් නමුත් ඔවුන් ඒ දේවල් ඉතා හොඳින් Market කරනවා.

Country branding හරහා අපේ රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධන කිරීමේදි ඇති වාසි මොනවාද ?

Country branding නැතුව ලෝකයේ කිසිම රටක් දියුණු වෙලා නැහැ. ලංකාව ගත්තාම අපේ පිහිටීම,ස්වාභාවික පරිසරය, සුන්දරත්වය ගැන කතා කරනවා. නමුත් අපේ රටට තිබෙන විශාල සම්පත තමයි මානව ප්‍රාග්ධනය. අපේ රටේ මිනිසුන් ලෝකයේ ඕනෑම රටක,ඕනැම විශ්වවිද්‍යාලයක ඉහළින් අධ්‍යාපනය ලබනවා. එමඟින් අපේ රටේ මානව ප්‍රාග්ධනය ඉහළින් තිබෙනවා කියන කාරණය තහවුරු වෙනවා.Country branding හරහා අපේ රට මොකක්ද, අපේ රටේ මිනිසුන් මොනවගේද කියලා brand කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි පළමුවැනි වාසිය. Country branding සංකල්පය නිසි ලෙස ස්ථාපිත වුණා නම් මේ භූමියේ හැමදේටම වටිනාකමක් දෙන්න පුළුවන්.

රුවන් පුෂ්පකුමාර 
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය 
කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT