Home » හතරලියද්ද රෝහලේ රට පැන්න ‘නර්ස්ට’ මාස තුනක් පඩි ගෙවලා

හතරලියද්ද රෝහලේ රට පැන්න ‘නර්ස්ට’ මාස තුනක් පඩි ගෙවලා

by mahesh
September 20, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිට නොදන්වා සේවයට වාර්තා නොකර විදේශගත වූ හෙද නිලධාරිනියකට මාස තුනක පමණ කාලයක් තිස්සේ රුපියල් ලක්ෂ 2 1/2කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම හෙද නිලධාරිනිය පසුගිය මාර්තු මාසයේදී හිටිහැටියේ සේවය අතහැර සිංගප්පූරුවේ රැකියාවක් සඳහා පිටව ගොස් තිබෙන බව අනාවරණය වී ඇත.

තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තයක් යටතේ හතරලියද්ද රෝහලට මාරුවීම් ලැබ තිබෙන මෙම හෙද නිලධාරිනිය සේවයෙන් ඉවත්ව යන බව පාරිපාලනයට දැනුම් දී නැති බව මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

සේවය අතහැර විදේශගත වූ පසු මාස තුනක පමණ කාලයක් එම හෙද නිලධාරිනියගේ මාසික වැටුප ඇගේ බැංකු ගිණුමට ගිණුම්ගත කර තිබෙන අතර විගණන පරීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගෙන් සහ පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාළ ලේඛන භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන තිබේ.

සේවයට වාර්තා නොකළ කාලය තුළ සිදු කරන ලද ගෙවීම් අදාළ නිලධාරිනියගෙන් නැවත අය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරමින් පවතින බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT