Home » නිට්ටඹුව පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය නොකඩා ලක්ෂ 78කට විදලා

නිට්ටඹුව පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රය නොකඩා ලක්ෂ 78කට විදලා

ආරක්ෂිත අගුල ඇර ඇත්තේ හොඳ පළපුරුදුකාරයන්

by mahesh
September 20, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, වේයන්ගොඩ විශේෂ

නිට්ටඹුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රය නොකඩා ආරක්ෂක අගුල් විවර කර රුපියල් ලක්ෂ 78කට අධික මුදලක් සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නිට්ටඹුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම බැංකුවේ මුදල් සොරකම සිදුව ඇත්තේ පසුගිය සෙනසුරාදා අලුයම 1.05ත් – 1.20ත් අතර කාලය තුළදී බව පොලිසිය කියයි. අලුයම 1.05ට පමණ ඒ.ටී.එම්. යන්ත්‍රය පිහිටි කුටියට එහි පිටුපස කොටසින් ඇතුළුවන පුද්ගලයකු මුලින්ම එහි ආරක්ෂක අගුල් විවර කර දුරකතන ඇමතුමක් ලබාදී කුටියෙන් පිටතට යන බවත් ඒ සමඟම තවත් අයකු කුටියට ඇතුළු වී ඒ.ටී.එම්. යන්ත්‍රයේ ඇති මුදල් බෑගයකට පුරවාගෙන යන ආකාරයත් ආරක්ෂක කැමරාවල සටහන්ව තිබී ඇත.

මෙම සොරකමට සම්බන්ධ මුලින් පැමිණි පුද්ගලයා මුහුණු ආවරණයක් පැලඳ සිට ඇති බවත් දෙවැන්නා හිස ආවරණය කරමින් පැමිණ ඇති බවත් එම කැමරා දර්ශනවලින් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙසේ සොරාගෙන ගොස් ඇති මුදල රුපියල් 7,851,000ක් වන අතර ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පෙරේදා (18)ය. එම පැමිණිල්ලද පොලිසියට ඉදිරිපත් කර තිබෙන්නේ මෙම ඒ.ටී.එම්. යන්ත්‍රයට මුදල් ඇතුළු කිරීම භාරව සිටින පුද්ගලික ආරක්ෂක සමාගමේ කළමනාකරු විසිනි.

විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ඊට පෙර දින මෙම ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළු කරන ලද රුපියල් කෝටියකට අධික මුදලකින් සෙනසුරාදා අලුයම් කාලය වන විට ඉතිරිව තිබුණු මුදල් මෙසේ සොරාගෙන ගොස් ඇති බවය.

මෙසේ මුදල් සොරා ගැනීමෙන් අනතුරුව එම යන්ත්‍රයේ මුදල් අවසන් බවට වූ පණිවුඩය දත්ත පද්ධතිය හරහා ලැබීමෙන් පසු අදාළ ආරක්ෂක සමාගම සෙනසුරාදාත් එම යන්ත්‍රයේ මුදල් තැන්පත් කර ඇති බව ද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම යන්ත්‍රය තුළින් මුදල් නිසි ක්‍රමවේදය ඔස්සේ නිකුත් කර නැති බව දත්ත පද්ධතිය පිරිස්සීමේදී තොරතුරු අනාවරණ වූ බැවින් ඒ ගැන සොයා බැලීමේදී ඒ.ටී.එම්. යන්ත්‍රය තුළ තිබුණු මුදල් සොරා ගැනීම ගැන තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ.ටී.එම්. යන්ත්‍රවල අගුල් විවෘත කිරීමට විශේෂ යතුරක් ඇති බවත් එම යතුරෙන් පවා අගුල් විවෘත කිරීමේදී යම් ආරක්ෂක ක්‍රමවේදයක් පවතින බවත් පොලිසිය කියයි. ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව මෙහි අගුල් විවෘත කරන ආකාරය හා මුදල් රැගෙන යන ආකාරය නිරීක්ෂණය කිරීමේදී අගුල් විවෘත කළ පුද්ගලයා මෙන්ම මුදල් බෑගයට දමා ගන්නා පුද්ගලයා ඒ සම්බන්ධයෙන් හොඳ පලපුරුදුකාරයන් බව පෙනී යන බව ද පොලිසිය කියයි. ඔවුන් දෙදෙනා පැමිණ ඇත්තේ මෝටර් රථයක නැඟී බවට ද විමර්ශනයේදී තොරතුරු හෙළිවී තිබේ. මේ දෙදෙනා බොහෝ විට බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවලට මුදල් තැන්පත් කරන ආරක්ෂක සමාගමකට සම්බන්ධ සේවකයන් හෝ සේවය කර ඉවත්ව සිටින අය බවට සැකයක් ද පවතී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT