Monday, April 21, 2025
Home » ධනුෂ්ක ගුණතිලක දෙවැනි දිනයටත් නඩුවට එයි

ධනුෂ්ක ගුණතිලක දෙවැනි දිනයටත් නඩුවට එයි

by chanaka
September 19, 2023 9:09 pm 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අද (19) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර NSW දිස්ත්‍රික් අධිකරණය හමුවේ දෙවැනි දිනටත් කැඳවා තිබුණි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මෙම නඩුවේ වින්දිතයා වශයෙන් සැලකෙන කාන්තාවගේ නිවසට පැමිණීමෙන් අනතුරුව ඇයගේ කැමැත්තෙන් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව ධනුෂ්ක ගුණතිලක විසින් මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.

ධනුෂ්ක සහ අදාළ කාන්තාව ඔපෙරා බාර් නම් ස්ථානයේදී මුණ ගැසීමෙන් පසු ඔවුන් වැළඳගන්නා ආකාරය සහ අනතුරුව කාන්තාවගේ නිවෙස වෙත පිටත්ව යාම පෙන්නුම් කරන ආරක්ෂිත කැමරා දර්ශන මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම සාක්ෂි පදනම් කර ගෙන පැමිණිලිකාර කාන්තාව දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මුරුගන් තංගරාජ් මෙහිදී කටයුතු කර තිබේ.

ලිංගිකව හැසිරීමට පෙර ධනුෂ්ක ගුණතිලක විසින් උපත් පාලන කොපුවක් භාවිතා නොකර සිටීමට ඇයව ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බව පැමිණිකාර කාන්තාව ඊයේ අධිකරණය වෙත පවසා තිබුණි.

නමුත් නීතිඥ තංගරාජ් මහතා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ධනුෂ්ක ගුණතිලක විසින් ඇයට එවැනි යෝජනාවක් සිදු නොකළ බවත් අනාරක්ෂිත ලිංගික හැසිරීමකට ඇයව පොළඹවා ගැනීමට උත්සාහ නොකළ බවත් එහිදී නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් වින්දිත කාන්තාව පවසා ඇත්තේ එය නිවැරදි ප්‍රකාශයක් නොවන බවයි.

පැමිණිකාර කාන්තාව විසින් ධනුෂ්ක ගුණතිලක ඇයගේ නිදන කාමරයට කැඳවා ගෙන ගොස් ඉටිපන්දම් දැල්වූයේ මන්දැයි මෙහිදී තංගරාජ් මහතා තවදුරටත් ඇයගෙන් ප්‍රශ්න කර තිබුණි.

ඔහුව නිදන කාමරයට ගෙන යාමට ගත් තීරණය ඇය විසින් පෙරදී සැලසුම් කරන ලද්දක් නොවේද යන්න මෙහිදී නීතිඥවරයා පැමිණිළිකාර කාන්තාවගෙන් විමසා තිබේ.

කෙසේ වෙතත් පැමිණිලිකාර කාන්තාව නීතිඥවරයාගේ එම ප්‍රකාශය සමඟ එකඟ වී නැත.

මේ අතර, පැමිණිලිකාර කාන්තාව ධනුෂ්ක ගුණතිලක සමඟ ආරක්ෂිත ලිංගික හැසිරීමක් සඳහා එකඟතාවය පළ කර ඇති බව මෙම නඩු විභාගයේ අභිචෝදකවරිය අද පවසා තිබේ.

මෙම සිව්දින නඩු විභාගය බ්‍රහස්පතින්දා අවසන් වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT