ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව දිගු කළක් රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් සකස් කර දී තිබූ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
මොවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි .
ඔවුන් 09/19 දින උදෑසන 06.16 ට කුවේට් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පිරිසට අතර පිරිමි 03 දෙනෙකු සහ ගැහැනු ගෘහ සේවිකාවන් 28 දෙනෙකු ඇතුළත්ව තිබෙයි
මීට අමතරව ඉකුත් 09/12 දින ද කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 33 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබූ අතර , ඔවුන් අතරින් පිරිමි 09 දෙනෙකු සහ කාන්තාවන් 24 දෙනෙකු සිටියහ .
ඒ අනුව මෙම සති දෙක තුළ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , වීසා නොමැතිව එරට රැදී සිටි , එහෙත් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු ශ්‍රී ලංකාවට එවා තිබුණි .
ඔවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය , කුරුණෑගල , ගාල්ල , මාතර සහ මොණරාගල ප්‍රදේශ වල පදිංචිකරුවන් වූහ .
එසේම තවදුරටත් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 2,000 ක පමණ පිරිසක් ලියාපදිංචි වී සිටින බවත් , ඔවුන් කණ්ඩායම් වශයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවත් , එම තානාපති කාර්යාලයීය ප්‍රකාශකවරයෙකු පැවසීය .