Home » ජනාධිපති කාර්යාලයේ නම විකුණමින් විදේශ රැකියා දීමට මුදල් ගත් අයෙක් මාට්ටු

ජනාධිපති කාර්යාලයේ නම විකුණමින් විදේශ රැකියා දීමට මුදල් ගත් අයෙක් මාට්ටු

by chanaka
September 19, 2023 9:34 am 0 comment

ජනාධිපති කාර්ය සාධන බලකායේ සේවය කරන බව අගවමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගත් පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා අමාත්‍යාංශය, එහි විෂය භාර අමාත්‍යවරයාගේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුවරයාගේ අනුග්‍රහයෙන් නවසීලන්තය, නෙදර්ලන්තය, දකුණු කොරියාව හා ජපානය වැනි රටවල රැකියා ලබාදීමේ වැඩසටහනක් පවතින බවත්, ඒ සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වැය වන බවත්, මුලින් රුපියල් ලක්ෂ 7.5 ක මුදලක් අවශ්‍ය යැයි ජනාධිපති කාර්ය සාධන බලකායේ පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් උපාය දූතයෙකු මාර්ගයෙන් අදාල පුද්ගලයා බත්තරමුල්ල නගරය වෙත කැඳවා ගත් අතර, “ජනාධිපති කාර්යාලය” ලෙස සඳහන් නාමපුවරුවක් සහිත මෝටර් රථයකින් ඔහු අදාල ස්ථානයට පැමිණ තිබේ. උපාය දූතයින් හමුවූ අවස්ථාවේදී, තමන් නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන බව පවසමින් රාජ්‍ය නිළධාරියෙකු ලෙස හැගවෙන පරිදි කටයුතු කර ඇත.

එම පුද්ගලයා විසින් එහිදී විදේශ රැකියා ලබාදීම සඳහා ගිවිසුමක් සකස් කර ඇති අතර, එම අවස්ථාවේදී විමර්ශන නිළධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (19) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT