Home » නරේන්ද්‍ර මෝදිට අමතක නොවන උපන් දිනයක් 8 වැනි වරටත් ආසියානු ශූරතාව ඉන්දියාවට ගෙන යයි

නරේන්ද්‍ර මෝදිට අමතක නොවන උපන් දිනයක් 8 වැනි වරටත් ආසියානු ශූරතාව ඉන්දියාවට ගෙන යයි

by sachintha
September 18, 2023 5:06 am 0 comment

50 වසරක එක්දින ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දෙවැනි අඩුම ලකුණු ගණන

ලජ්ජා සහගත පරාජයේ සම්පූර්ණ වගකීම පිතිකරුවන්ට

අගාධයට වැටෙද්දී ‘සිල්වර්වුඩ්’ සිල් රැක්කාද?

පිතිකරුවන් 5කට බින්දු

 

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ 72 වැනි උපන් දිනය යෙදුණු ඊයේ දිනයේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෝ අති විශිෂ්ට ජයග්‍රහණයකින් තම රටේ නායකයාට අමතක නොවන උපන් දින තෑග්ගක් පිරිනැමූහ. මෝදී මහතා උපන් දිනය සමරමින් ආසියානු ක්‍රිකට් කුසලාන අවසන් මහා තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී 8 වැනි වතාවට තම නිජ බිමට කිරුළ රැගෙන යෑමේ ප්‍රීතිමත් අවස්ථාව ඉන්දීය ක්‍රිඩකයෝ උදා කර දුන්හ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ආසියානු ක්‍රිකට් අවසන් මහා තරගයෙන් කඩුලු 10ක ජයක් ඉන්දියාව ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට 7 වැනි වරටත් අනුශූරතාවෙන් සෑහීමට පත්වීමට සිදු විය.

ජයග්‍රාහී ඉන්දීය පිලට රන් ආලේපිත ආසියානු කුසලානය සමඟ අමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක් (රුපියල් හය කෝටි හතලිස් හය ලක්ෂයක්) හා පරාජිත ශ්‍රී ලංකා පිලට අමෙරිකානු ඩොලර් ලක්ෂයක් (රුපියල් තුන්කෝටි විසිතුන් ලක්ෂයක්) ඊයේ තෑගි වශයෙන් පිරිනැමිණි.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පිතිකරණයට පැමිණි සියලු දෙනා ‘කජු කන්නා වගේ’ ග්‍රහණයට හසු කර ගත් ඉන්දීය පන්දු යවන්නෝ ලකුණු 50කට සියල්ලන්ම දවාලූහ. පිළිතුරු දීමට තරම් දැවැන්ත ඉලක්කයක් ලෙස නොසැලකූ එම ලකුණු ප්‍රමාණය ආරම්භක පිතිකරුවන් වූ ඉෂාන් කිෂාන් (නොදැවී 23) හා ශුබ්මාන් ගිල් (නොදැවී 27) සම්පූර්ණ කළහ.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල එක්දින පිටියේ අඩුම ලකුණු ගණනකට දැවී යෑම ඊයේ නූලෙන් බේරී ගිය අතර, 2012දී දකුණු අප්‍රිකාව ඉදිරියේ පාර්ල්හිදී ලකුණු 43කට දැවී යෑම මෙතෙක් එක්දින පිටියේ අඩුම ලකුණු ගණන විය.

එමෙන්ම වසර 1975 සිට 50 වසරකට ආසන්න කාලයක් පැවත එන ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි අඩුම ලකුණු ගණන ඊයේ වාර්තා වූ අතර, ඒ වසර 37කට පසුවය. මෙයට පෙර 1986දී දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල සාජා ක්‍රීඩාංගණයේදී ලකුණු 55කට දැවී ගොස් තිබිම මින් පෙර දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව විය.

එමෙන්ම ආසියානු කුසලාන එක්දින තරග ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී යෑම ද ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් වූ අතර, මෙයට පෙර බංග්ලාදේශ පිල ඩකා නුවරදී පාකිස්තානය හමුවේ ලකුණු 87කට දැවී ගියේය.

ඊයේ දිනයේ ඇදහිය නොහැකි දෙය නම් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් 8ක්ම පෞද්ගලිකව ලකුණු 5කට වඩා අඩුවෙන් වාර්තා කිරීමය. තවත් දෙදෙනෙකු ලකුණු 10කට අඩුවෙන් දැවී ගියහ. මේ ආකාරයෙන් එකා පිට එකා දැවී ගොස් දුර්වල ලෙස ක්‍රීඩා කිරීම ලක්ෂ ගණනින් වැටුප් ලබන මුල් පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්න කරන්නකි. මොහොමඩ් සිරාජ් හා ජස්ප්‍රිත් බුම්රා වම් ඉන්නෙන් පිටත පතිත කළ පන්දු බොහොමයකට අනවශ්‍ය පරිදි ‘හැන්ද දමා’ ක්‍රීඩාගාරයට ගිය අයුරු දුර්වල පිතිකරණය මැනවින් විදහා දැක්වීමකි. එවැනි ක්‍රීඩා විලාශයක් පාසල් දරුවන්ගෙන් හෝ අපේක්ෂා කළ නොහැක. තරගය ආරම්භ කිරීමට පෙර ඇදහැලුණු සිහින් සිරිපොද වර්ෂාව හේතුවෙන් තණතිල්ල වේග පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වූ බව පැහැදිලිවීමෙන් ‘ස්ථානෝචිත ප්‍රඥාවෙන්’ යුතුව ගැළපෙන අයුරින් පිතිකරණය සකස් කර ගැනීමට අසමත් වූ සියලු දෙනා මේ ලැජ්ජා සහගත පරාජයේ සම්පූර්ණ වගකීම භාරගත යුතුය.

ටෙස්ට් තරගයකදී මෙන් ස්ලිප් ක්‍රීඩකයන් සිවුදෙනකු යොදා බුම්රා හා සිරාජ් පන්දු යවමින් අණසක පතුරුවද්දී ශ්‍රී ලංකා පුහුණුකරු පිටියේ සිටින පිතිකරුවන්ට අතරමැදදී හෝ පණිවිඩයක් එව්වේ නම් මෙවැනි විනාශයක් නොවන්නට ඉඩ තිබිණි. ශ්‍රී ලංකා පිල අගාධයට වැටෙද්දී පුහුණුකරු‘සිල්වර්වුඩ්’ සිල් රකින්නාක් මෙන් නිකටට අත ගසා සිටි අයුරු දිස් විණි.

ඉන්දීය ආරම්භක පන්දු යවන බුම්රා හා සිරාජ් මෑත කාලයේ තම කණ්ඩායම වෙනුවෙන් ලබාදුන් හොඳම පන්දු යැවීම මෙය වූ අතර, ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ මොහොමඩ් සිරාජ් 7-1-21-6ක් ලෙස තම එක්දින ජීවිතයේ හොඳම පන්දු යැවීම සටහන් කළේය.

මේ අතර මොහොමඩ් සිරාජ් පන්දු 16ක් තුළ කඩුලු 5ක් බිඳ දැමීමට සමත් වූ අතර, එය ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන චමින්ද වාස්ගේ වාර්තාවක් සම කිරීමක් ද විය. වාස් 2003 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පන්දු 16ක් තුළ කඩුලු 5ක් බිඳ දමා තිබිණි.

ශ්‍රී ලංකා පිලට ප්‍රබල තර්ජනයක් ගෙන දෙමින් පළමු කඩුලු 6 ලකුණු 12ක් වෙද්දී දවා ගැනීමට බුම්රා හා සිරාජ් සමත් වූහ. පළමු ඕවරයේදීම කුසල් ජනිත් ක්‍රීඩාගාරයට යැවූ බුම්රාගේ ප්‍රවේශයෙන් පසු සිරාජ් තම දෙවැනි ඕවරයේදී ශ්‍රී ලංකා කඩුලු 4ක් දවා ගැනීම ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නාක් මෙන්’ මොහොමඩ් සිරාජ් තම දෙවැනි ඕවරයේදී පැතුම්, සධීර, චරිත් හා ධනංජය යන ශ්‍රී ලංකා පිලේ ප්‍රබල පිතිකරුවන් සිවුදෙනා දවා ගැනීමට සමත්වීමෙන් තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරිණි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය ඉන්දීය පිලේ කුල්දීප් යාදෙව්ට හා අවසන් තරගයේ වීරයා සම්මානය වේග පන්දු යවන මොහොමඩ් සිරාජ්ට හිමි විය. මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ බංග්ලාදේශ කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 62,500ක් (රුපියල් 20187500ක්) හා සිවුවැනි ස්ථානයට පත් වූ පාකිස්තානයට අමෙරිකානු ඩොලර් 31,250 (රුපියල් 10093750ක්) පිරිනැමිණි. සුපිරි හතර අදියර සඳහා සුදුසුකම් ලැබීමට අපොහොසත් වූ නේපාලයට හා ඇෆ්ගනිස්තානයට අමෙරිකානු ඩොලර් 12,500 (රුපියල් 4037500ක්) බැගින් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ.ජඩේජා ප.සිරාජ් 2

කුසල් පෙරේරා ඇ.රාහුල් ප.බුම්රා 0

කුසල් මෙන්ඩිස් ප.සිරාජ් 17

සධීර සමරවික්‍රම ක.මු.ක. ප.සිරාජ් 0

චරිත් අසලංක ඇ.කිෂාන් ප.සිරාජ් 0

ධනංජය ද සිල්වා ඇ.රාහුල් ප.සිරාජ් 4

දසුන් ශානක ප.සිරාජ් 0

දුනිත් වෙල්ලාලගේ ඇ.රාහුල් ප.පාණ්ඩ්‍යා 8

දුෂාන් හේමන්ත නොදැවී 13

ප්‍රමෝද් මධුෂාන් ඇ.කෝලි ප.පාණ්ඩ්‍යා 1

මතීෂ පතිරණ ඇ.කිෂාන් ප.පාණ්ඩ්‍යා 0

අතිරේක 5

එකතුව සියල්ලන් දැවී (ඕවර 15.2) 50

කඩුලු බිඳ වැටීම: 1-1, 2-8, 3-8, 4-8, 5-12,

6-12, 7-33, 8-40, 9-50, 10-50

පන්දු යැවීම: බුම්රා 5-1-23-1,

සිරාජ් 7-1-21-6, පාණ්ඩ්‍යා 2.2-0-3-3.

ඉන්දියාව

ඉෂාන් කිෂාන් නොදැවී 23

ශුබ්මන් ගිල් නොදැවී 27

අතිරේක 1

එකතුව කිසිවකු නොදැවී (ඕවර 6.1) 51

පන්දු යැවීම: මධුෂාන් 2-0-21-0, පතිරණ 2-0-21-0,

වෙල්ලාලගේ 2-0-7-0, අසලංක 0.1-0-1-0.

ප්‍රින්ස් ගුණසේකර ආර්. ප්‍රේමදාස පිටියේ සිට…

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT