දකුණු චීන මුහුදු කලාපයේ 08 වන බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව ඔක්තෝබර් මස 24,25 සහ 26 දිනවල මෙරට පැවැත්වීමට නියමිතය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය එහි සත්කාරකත්වය සිදු කිරීමට නියමිත අතර, සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝම්බර් මස 24 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
චීනයේ ෂෙන්සෙන්හි හොංග්ෆා විහාරස්ථානයේ මූලිකත්වයෙන් 2016 වර්ෂයේ සිට සංවිධාන කරන දකුණු චීන මුහුදු කලාපයේ බෞද්ධ ෂෙන්සෙන් වට මේස සාකච්ඡාව වාර්ෂිකව අන්තර්ජාතික කථිකාවතක් ලෙස පැවැත්වෙන බවත්, ‘සමඟියෙන් එකට ගමන් කර සේද මාවතේ ප්‍රඥාව රැස් කරන්න’ (Walk Together in Harmony and Gather the Wisdom of the Silk Road) තේමාව යටතේ රටවල් 22ක සහභාගීත්වයෙන් මෙවර එය මෙරටදී පැවැත්වෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
මේ සමුළුව සාර්ථක කරගැනීම සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන වලින් ඉටු කරගැනීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
බෞද්ධ හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බෞද්ධ හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහත්වරු සහ අදාළ රේඛීය ආයතන නිලධාරීහූ මේ සාකච්ඡාවට එක්ව සිටියහ.
ශිරෝමි අබයසිංහ